සිරියාවේදී කළ ඇමරිකානු ප්‍රහාරයට රටවල් 5 ක සහයෝගය


(ද ටෙලිග්‍රාෆ් /ඒඑෆ්පී ඇසුරෙනි - 042)
සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්‍රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්‍රකාශ කර ඇත. එංගලන්තය, ජපානය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායෙලය යන රටවල් ඇමෙරිකාවේ මෙම තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ. 

එම ප්‍රහාරය ඇමෙරිකාවේ කලහකාරී ක්‍රියාවක් බවත් ඉන් රුසියා-ඇමෙරිකා සබඳතාවලට හානි විය හැකි බවත් රුසියාව අනතුරු අඟවයි. එම ප්‍රහාරය ආරවුලකට මුල පිරිය හැකි බවද රුසියාව කියයි. 

මෙම ප්‍රහාරයෙන් හය දෙනකු මියගොස් ඇතැයි සිරියානු හමුදා පවසයි.

එම ප්‍රහාරය බසාර් අසාද් ගේ ම්ලේච්ඡ රසායනික ප්‍රහාරයට කදිම පිළිතුරක් බව එංගලන්තය ප්‍රකාශ කළේය. එංගලන්ත රජය පැවසුවේ සිරියා රජයේ ගුවන් හමුදා කඳවුරට පහරදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණයට සහයෝගය පළකරන බවයි. 

සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය එම කඳවුරේ සිට සැලසුම් කරන්නට ඇතැයි ඇමෙරිකාව චෝදනා කළේය. ශයිරාත් ගුවන් හමුදා කඳවුරට මධ්‍යධරණී මුහුදේ තිබූ ඇමෙරිකානු යුද නැවක සිට ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල ප්‍රහාර 59 ක් පමණ එල්ල කර තිබිණි. 

එම කඳවුරේ රුසියානු නියෝජනයක් ද ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවා තිබේ. නමුත් ක්‍රෙම්ලින් කාර්යාලය එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට පටහැනි බව පවසමින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබිණි.

සිරියානු ජනපති අසාද් මහතාගේ නියෝග පරිදි එල්ල කෙරුණ බව කියන පසුගිය අඟහරුවාදා සිදුවු රසායනික ප්‍රහාරයෙන් කුඩා ළමයින් 20 දෙනකු ඇතුළුව 72 දෙනකු මිය ගොස් තිබිණි.