සිරිමගෙ රජයට ඇමෙරිකාව අත දාන්න හදලා


ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වල පිබිදීම නිසා සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්‍රමුඛ ශී්‍රලංකා රජයට නොයෙකුත් ගැටලූ වලට මුහුණ දීමට සිදුව ඇතැයි යයිද මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහයට ඇමරිකාව ඉදිරපත් විය යුතු යැයිද සදහන් කර 1963 වසරේදී එවක ඇමරිකා ජනපති ජෝන්.එෆ්.කෙනඩි වෙත යැවුණු රහසිගත ලියවිල්ලක් කරළියට පැමිණ ඇත.

මෙම ලියවිල්ල ඇමරිකා ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ එදවස ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියාව සිටි ආර්.ඩබ්ලියු ක්‍රෝමර්ය.ක්‍රෝමර් මෙම ලියවිල්ල කෙනඩි ජනාධිපතිවරයාට යවා ඇත්තේ ඔහු තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වීමට මාස 4 කට පෙරය.

අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය එවකදී ඇමරිකා රජය හා යහපත් සබදතා පවත්වාගෙන ගොස් ඇති බවට සාක්ෂි ඇත.එම සමයේ ඇමරිකාව අත්ලන්තික සයුරේ සිදුකළ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබූ තෙල් සමාගම් ජනසතු කිරීමේ ක්‍රියාවලිය, දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ඇතිව තිබූ අර්බුදය වැනි මාතෘකා පිළිඹදව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී ඇති බවට සාක්ෂි තිබේ.

මෙම කාලයේ ඇමරිකාව හා කියුබාව අද සේම පැවතියේ එතරම් හොද සබදතාවක් නොවේ. කියුබාවේ වූ ඇමරිකාවට අයත් කර්මාන්තපුර හා සමාගම් කියුබා රජයට පවරා ගැනීමට එරට බළධාරීන් ක්‍රියාකිරීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව හිකෙන්ලුපර් ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදුනි. මෙම සංශෝධනයට අනුව කිසියම් රටක් එම රටේ පිහිටුවා ඇති ඇමරිකාවට අයත් දේපළ හෝ සමාගම් හෝ පවරා ගනී නම් එම රටට ලබා දෙන ආධාර සියල්ලම අත්හිටුවීමට ඇමරිකාවට හැකියාව ලැබුනි.

ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය ලංකාවේ ක්‍රියාත්මක වූ වාමාංශික පක්ෂ වල දැඩි දෝෂදර්ශනයට හසුවූ අතර එම පක්ෂ සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්‍රමුඛ රජයට බල කර සිටියේ එවක ඇමරිකා සමාගම් අතින් පාලනය වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනසතු කරන ලෙසයි. 1960 කාලවකවානුවේ වාමාංෂික පක්ෂ බලවත් ලෙස නැගී සිටි හෙයින් අගමැතිනියට සිදුවූයේ වාමාංෂික පක්ෂ වල කීම අනුව ක්‍රියාකිරීමටය.

මෙම තත්ත්වය දුටු ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී  ආර්.ඩබ්ලියු ක්‍රෝමර් මෙම ලියවිල්ල ජනපති කෙනඩි වෙත යවා ඇත්තේ වදනක් හෝ තෙපළා සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට ශක්තියක් වන ලෙස ඉල්ලමිනි. නැතහොත් ඇමරිකා සමාගම් තමන්ගේ දේපළ අතහැර ශ්‍රී ලංකාවෙන් පිටමන් වීමට සිදුවනු ඇතැයි ලියවිල්ලේ ඔහු අනතුරු අගවා ඇත.

ඔහු යෝජනා කර තිඛෙන්නේ වියට්නාමයේ බෞද්ධයින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා තානාතිපතිවරයා හා සාකච්ඡාවේදී මෙම කරුණුද ඔහුට දන්වන ලෙසයි.මෙම සමයේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාතිපතිවරයා ලෙස කටයුතු කළේ මෙරේනා ඩි ෆ්‍රැන්සිස් ඩි සිල්වා ජයරත්න මහතා වන අතර ඔහු සිරිමාවෝ බණ්ඩාරණායක රජයටත් වඩා බටහිරට පක්ෂපාතිකයෙකු බව ක්‍රෝමර් තම ලියැවිලලේ සදහන් කිරීමට කටයුතු කර ඇත.

දකුණු වියට්නාමයේ සිදුවූ පුද්ගල ඝාතන සමූහයක්, භික්ෂූවක් ගිනි තබාගෙන සියදිවි නසාගැනීම ආදී සිදුවීම් වලට මුල්වූ එවක දකුණු වියට්නාම රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමරිකාවේ මැදහත්වීම ශ්‍රී ලංකාව අපේක්ෂා කළේය.සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය මේ සම්බන්ධයෙන් කෙනඩි ජනාධිපතිවරයා හා ලිපි හුවමාරුවකද යෙදී ඇති බවත් කෙනඩි ජනාධිපතිවරයා ‘ස්වාධීනත්වයේ නියමුවකු‘ ලෙස හදුන්වාදී දකුණු වියට්නාමයේ බෞද්ධයින්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලූ වලට මැදහත්වී විසදුම් ලබාදීමට සුදුසුම පුද්ගලයායැයි එම ලිපිවල දක්වා ඇති බවත් කියැවේ.

 

ලියවිල්ලේ මෙම කරුණු සදහන් වන්නේ මේ ආකාරයටය.

 

ජනපතිවරයා වෙත යැවෙන ලියවිල්ලකි.

රහසිගතයි.

ශ්‍රී ලංකාවේ තානාතිපතිවරයා (රජයට වඩා මොහු බටහිරට පක්ෂපාතියි) ශ්‍රී ලංකා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගෙන් ලත් පණිවුඩයක් සම්බන්ධයෙන් ඔබ හමුවට පැමිණීමට නියමිතය.මෙම පණිවුඩය දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් වේ.

ඔහුට අස්වස්සනවාට අමතරව (ඔබ බණ්ඩාරණායක අගමැතිනියගෙන් ජූනි 19 වෙනිදා ලද ලිපියට ජූලි 5 වැනිදා ලියූ පිළිතුරු ලිපියේ සදහන් කළ ආකාරයට) ඛනිජ තෙල්  හිමිකාරීත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ සම්බන්ධයෙනුත් ඔහුව දැනුම්වත් කිරීම කළ හැකි නම් සුදුසුය.මක්නිසාද පසුගිය පෙබරවාරි මාසයේ හදුන්වාදුන් හයිකන්ලුපන් ව්‍යවස්ථා සංශෝධනය නිසාවෙන් අප හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධය තිඛෙන්නේ විනාශ වෙමිනි. සංශෝධනයට අනුව සියලූ ආධාර කපා හැරීමට සිදුව තිබීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.මෙය දඩමිීමා කරගෙන කි්‍රයාත්මකව වී ඇති ශ්‍රී ලංකාවේ වාමාංශීක පක්ෂ දැන් ශ්‍රී ලංකා රජය වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීම කරා යොමුකරවමින් සිටී.මෙම තත්ත්වය මෙසේම පැවතුණහොත් අපගේ තෙල් සමාගම් සියල්ල ඔවුනටම අයත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

අපට ගත් තීරණය වෙනස් කළ නොහැකි මුත් ඔබට කළ හැකි දෙයක් ඇත.ඔබ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන් වචන කිහිපයක් ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ පැවසුවහොත් එම වචන කිහිප වාමාංශික පක්ෂ වලින් එල්ල වන පීඩනයට එරෙහිව නැගී සිටීමට සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනියගේ කොදු නාරටිය ශක්තිමත් කරවීමේ සමත් වනු ඇත. ගල්බ්‍රයිත් ඔහුගේ සංචාරය අතරමගදී ශ්‍රී ලංකාවටත් ගොස් තිඛෙන අතර ඔහුගේ අදහස වන්නේ එහි තත්ත්වය බරපතළ බවයි. වයාට් එහි වහාම යැවිය යුතුයැයි ඔහු යෝජනා කරයි. මෙම ගැටලූව ඔබ විසදීමට බලාපොරොත්තු වන ආකාරය සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්න.

ආර්.ඩබ්ලියු.ක්‍රෝමර්