සිරිකොතට ගැසූ ආර්ය චක්‍රවර්තිලාට බුරුලක් නෑ
අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්‍රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් තීරණය නිවැරැදි බව සිරිකොතට එල්ල කළ පරාජිත ප්‍රහාරයෙන් පෙනෙතියි රනිල් වික්‍රමසිංහ එජාප නායකවරයා කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කෙළේය. සිරිකොතට ගැසූ බව කියන කළු ගලක් එම සාකච්ඡාවට රැගෙන ආ වික්‍රමසිංහ මහතා එය විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු ළඟට ගෙන ගොස් එම ගල ආයතනයේ ප්‍රධානියකුට දෙන්නැයි ඔහුගේ නම ද සඳහන් කර දෑත් එකතු කැර ඔහුට අචාර කෙළේය. නායක ඡන්දය දා තමා විනාශ කිරීමට ආ මැර බලවේග ආර්ය චක්‍රවර්තිගේ හමුදාවනට සමාන කළ වික්‍රමසිංහ මහතා එම පරසතුරු බලවේගවලට උදව්දුන් බවට මාධ්‍ය ආයතන කිහිපයක නම් ද ප්‍රසිද්ධියේ පැවැසීය. වන්දනා මාන කළ යුතු තැනක් වන සිරිකොතට ගැසූ අයට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්න බවත් පකෂයේ ඉදිරිගමනට එකමුතුකමත් විනයත් ඇවැසි බව වික්‍රමසිංහ මහතා කීවේය.

