සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර


(අජන්ත කුමාර අගලකඩ)

සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විශේෂ කැබිනට් සංදේශයක් ලෙස ඒම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල සහ නිල කාලය අවසන්වීමට නියමිතව ඇති පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වැනිදාට පෙර එකවර පැවැත්විය යුතු බවට සහ පැරණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවට ද එමගින් යෝජනා කර ඇත.

මේ අතර පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදිමේදී අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා නියෝජනය 25% ක් විය යුතු බවද ජනාධිපතිවරයා සිය යෝජනාවෙන් ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම කැබිනට් සංදේශය ලබන සතියේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

සබරගමුව,නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් තුනේ නිල කාලය ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණ අතර මධ්‍යම,වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් විය.

දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 10 වැනිදා ද , බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් අගදී ද , ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.