(නිමල කොඩිතුවක්කු)
විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවන වාරය සදහා සියලු පාසල් ලබන සදුදා (06) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය.
මේ වනවිට පාසල් සඳහා අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ආරක්ෂක අංශවල නිර්දේශ මත පාසල් පවත්වාගෙන යන ලෙසට විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කතෝලික පාසල් ආරම්භ කිරීමේ දිනය පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසීය.
පාසල් ආරම්භ කිරීමෙන් පසුවත් ආරක්ෂක අංශ, පාසල් සංවර්ධන කමිටු, දෙමවුපියන් සම්බන්ධ කරමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා එහිදි පැවැසීය.
එමෙන්ම පාසැල්වලට ළමුන් ප‍්‍රවාහනය කිරීමේදී ද ආරක්ෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
අලූත් අවුරුදු නිවාඩුවෙන් පසුව පසුගිය 22 වනදා පැසැල් ආරම්භ කිරීමට නියමිතව තිබුනද පසුගිය 21 වනදා එල්ල වූ පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම ආරක්ෂක හේතූන් මත 06 වනදා දක්වා කල් දැමිනි.
එම දිනයන්හීදී අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පැවැසූ අමාත්‍යවරයා අවශ්‍යනම් අගෝස්තු නිවාඩුව අඩු කරමින් හෝ සෙනසුරාදා දිනයන්හි පාසල් පැවැත්වීමෙන් එම කටයුතු ආවරණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

