සිය වසරකට පසු පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රීයේ


(ඩයනා උදයංගනී)
         
වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (27) සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා  ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය 21 වැනි සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට දිස්වන බව චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව අද සිට හෙට අළුයම තෙක් පැය 06 යි විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය සිදුවන බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.

මෙම චන්ද්‍රග‍්‍රහණය අද රාත‍්‍රී 10.45ට පමණ ආරම්භ වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට දිස්වීම ඇරඹෙන්නේ රාත‍්‍රී 11.54 සිට අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙසිනි.

පූර්ණ චන්ද්‍රග‍්‍රහණය අළුයම 1.00 සිට 2.43 දක්වා දිස්වන අතර මෙම චන්ද්‍රග‍්‍රහණය අවසන් වන්නේ හෙට අළුයම 4.58ටය.මෙය හොඳින්ම දිස්වන්නේ නැගෙනහිර අපි‍්‍රකාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග රටවලට බව චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.