සිනමාහල්වලට අලුත් නීතියක් ගේන්න අ'පුර නගර සභාවෙන් යෝජනාවක්


(දයාරත්න ඇඹෝගම)
 
දිවයිනේ සියළුම සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර ජාතික ගීය වාදනය කිරිමට සිනමාශාලා හිමියන් දැනුවත් කළ යුතු බවට අනුරාධපුර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා විසින් අද (13) අනුරාධපුර මහා නගර සභා මාසික රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.


මෙම යෝජනාව දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලාවල ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය විය.


ශ්‍රී ලාංකිකයන් වුවද බොහෝ දෙනාට ජාතික ගීය පාඩම් නොමැති බවද, ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවද පෙන්වා දෙන නාගරික මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා සිනමා ශාලාවකදී හෝ කිහිප වතාවක් ජාතික ගීය ශ්‍රවණය වු විට එය ජනතාව අතරේ මතකයේ රැදෙණු ඇති බව ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසිය.


මේ ආකාරයට අසල්වාසී රටක් වන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද එරට සිනමාශාලා වල ජාතික ගීය වාදනය කළ යුතු බවට නියෝග කළ බවද හෙතෙම පැවසීය.


අනුරාධපුර මහා නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී අද (13) පැවැත්විණි.