සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල සිදු වීමෙන් තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මහරගම පොලිසියේ ස්ථානාධිපතිගෙන් අද (4) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව ඊයේ (3) පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේ දී ඇතිවූ තෙරපුම හේතුවෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ වම් අතෙහි ඇඟිලි යකඩ බැරියර් දෙකක් අතරට සිරවීමෙන් ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී තිබිණි

තුවාල ලද ස්ථානාධිපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයට ලක් කෙරිණි

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු කණ්ඩායමක් පැමිණ ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශ ඇතුළත් සටහන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාර දී ඇත

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජි.ජේ නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මාතෘ ගුරු උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි