සැමියා මැරූ බිරිඳ රිමාන්ඩ්


රාත්‍රී 7

(ක.ග කරුණාරත්න)
 
හබරණ අරුණෝදාගම ප්‍රදේශයේදී අද (17) අලුයම පොරවකින් ගසා තම සැමියා ඝාතනය කළැයි  සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේ ය. 

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මාතර ආරච්චිගේ කාන්ති ප්‍රියදර්ශණී නමැති 44 හැවිරිදි සිව් දරු මවකි.

 


(කාංචන කුමාර ආරියදාස)

හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදාගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ඝාතනය කළ බිරිඳ පොරවද සමග පොලීසියට භාර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මරා දමා ඇත්තේ 46 හැවිරිදි සිව් දරු පියෙකි.

හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන මෙම යුවළ නිතර නිතර අඩ දබර ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අද(17) අලුයම දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බිරිඳ විසින් නිවස තුළදීම සැමියාට පොරවකින් පහර දී පොරවද  රැගෙන  හබරණ පොලිසියට පැමිණි බවත් පොලිසිය සඳහන් කරයි.

 කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් ඥාති නිවසක  සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා මීට පෙර විවාහයක් අසාර්ථක වී දෙවැනි විවාහය සිදු කරගෙන සිටි අයකු බවත් ඔහු යුද හමුදා සේවයේ යෙදී සිට යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවත් පොලිසිය පවසයි.

ඝාතනය කළ බවට සැක පිට පොලීසියට භාර වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.