( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සහ එම නිලවරණයේ සභාපති ධූරයට තරග වදින නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන සැප්තැම්බර් 3 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද (04) නියෝග කළේය.
රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
මීට පෙර මෙම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීම වළකාලමින් දැනට පනවා තිබෙන අතුරු නියෝගය විසුරුවා හැරීමට ද අධිකරණය කටයුතු කළේය.
එම ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා පෙනී සිටියහ.
සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන කනග ඊස්වරන් , කාලිංග ඉන්ද්‍රතිස්ස , අලි සබ්රි ,සංජීව ජයවර්ධන යන මහත්වරුන්ද පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මරත්න සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පෙනී සිටියහ.