සැප්තැම්බරයේ යාල වහයි


(විනීතා එම් ගමගේ)

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 කොටස ලබල සැප්තැම්බර් පළමුවැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි ජීවත්වන වනසතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට හා උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට මෙම කාලසීමාව යොදා ගන්නා බව එම දෙපාර්තමේන්තුව කියයි.

වනෝද්‍යානයේ කලාප අංක 01 හි පළටුපාන පිවිසුම ආශ්‍රීතව පවත්නා සංචාරකයින්ගේ තදබදය වනජීවින්ගේ හැසිරීම් රටාවට බාධාවක් වන බැවින් වන සතුන්ට නිදහසේ හැසිරීම සඳහා යාල කලාප අංක එක අදාළ දිනයන් හි වසා තැබුවද කලාප අංක 3, 4, 5 සහ සෙසු උද්‍යානයන් සංචාරකයන් සඳහා සුපුරුදු පරිදි විවෘතව තැබෙන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙම කලාපය වසා තබන කාලය තුළ දී වනපෙතේ ආරක්ෂාව සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මුර සංචාර පවත්වන බවත් නියං සමයක් වුවහොත් වසා තැබෙන කාලය අඩු වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.