සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි


සුජිත් හේවාජුලිගේ

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇතැත් ඒ නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය වු ස්ථානයේ සිටි හෙයින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ට වෙඩි තැබීමට හැකියාව තිබූ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳ අද හෙටම ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද ප්‍රකාශ කළේය.

කිරින්ඳ රාජ මහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මේ වන විට ප්‍රදේශයේ පලා ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ  නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 8ක් පිටත් කර යවා ඇති බවත් රුවන් ගුණසේකර මහත් කීය.

ඔහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන්තොටුපළට දී ඇත.

මේ සැකකරු දැනට තැනින් තැනට යමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු ගැවසී ඇති ස්ථාන විස්සක් පමණ පසුගිය දිනවල පොලිසිය විසින් පරීක්ෂා කර ඇති බවත් ගුණසේකර මහතා පැවසීය.

රුවන් ගුණසේකර මහතා අද (15) පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

‘‘මේ සැකකාර කපු මහතා පිළිබඳව දැනට තොරතුරු ගණනාවක් ලැබී තිබෙනවා.අද හෙටම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවේවී කියලා බලාපොරොත්තු වෙනවා.

පරීක්ෂණ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනවා . නායක හිමියන් මීට ඉහතදී කළ පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සැකකරුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කරගෙන තියෙනවා.ඔහු ගැන විමර්ශනයක් කරලා තිබුණා.ඒ පැමිණිල්ලත් මේ නඩුවට ඉතා වැදගත් වෙනවා.‘‘