
(ගයාන් සූරියආරච්චි)
බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරුන් දෙකක් ඇතුළු 5 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ගංජා ග්‍රෑම් 50 ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඉකුත් (8) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රදවා සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරුගේ සිර මැදිරිය තුළ ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයාගෙන තිබූ බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවැසීය.
එම විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ වැඩතහම් කර තිබේ.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.

