සැකකරු පළා ගියැයි පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම්


(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)

පොලිස් සිර මැදිරියෙන් සැකකරුවකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (28) සිට අරණායක පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.
 
ගංජා ලඟ තබාගෙන සිටි බව කියන සැකකරුවකු ඉකුත් 26 වැනි දා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී රාත‍්‍රී 7:30 ත් 8:00 ත් අතර කාලය තුළ අදාළ සැකකරු සිරමැදිරියේ දොර විවෘත කරගෙන පළාගොස් තිබේ.
 
මෙම සැකකරු පළායන අවස්ථාවේ එදින පොලිසියේ රාත‍්‍රී රාජකාරි බාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා හා පිළිගැනීමේ අංශයේ සිටි පොලිස් උප සේවක කොස්තාපල්වරයා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිනි තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ.
 
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.