සැකකරු අධිකරණයෙදී පැන ගිහින්


(අමදෝරු අමරජීව )

මූතූර්  මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන විසිඅට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමත් සමඟ විත්ති කූඩුවෙන් බැසගත් සැකකරු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ පලාගොස් ඇතැයි මූතූර් පොලිසිය කියයි .

මුතුර්, ආලින් නගර් පදිංචි කබීර් මොහොමඩ් අමාන් (22) නැමැති මෙම සැකකරු රුපියල් හැටදාහක් වටිනා රන් මාලයක් සොරකම් කිරීමේ වරදට මූතූර්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියම කිරීමෙන් පසු විත්ති කූඩුවෙන් බැස ගෙන අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ සැකකරු  මෙසේ පලා ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය .

සැකකරු පලා යෑම පොලිසිය යළි අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකළ අතර එහිදී රාජකාරියට යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රමාණයේ අඩුව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු වහාම අත්අඩංගුවට ගෙන යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  පොලිසියට නියම කෙරිණි.