සැක කටයුතු තැන්


රටේ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාව පුරාම ආරක්ෂාව තර කර තිබේ.

මේ හේතුවෙන් පැය 24 පුරාම ආරක්ෂක අංශ මැදිහත්වී සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර  අද උදෑසන කළ මෙහෙයුම් වලදී  සැකකටයුතු පාර්සල්,  යතුරු පැදි, ගමන් මලු  වැනි දෑ හමු වී ඇති අතර අයිතිකරුවන් නොමැති ඒවා  පුපුරැවා හැරීමටත් සෙසු ඒවා අයිතිකරුවන්ට බාරදීමටත් ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි. 

දිවයින පුරා වාර්තා වූ එවැනි සිදුවීම් කිහිපයක් පහත දැක්වේ.


(2019 අප්‍රේල් 25 වැනිදා සිදුවීම් )


 

 

දහවල් 12.40

(සනත් ගමගේ)                                               

හම්බන්තොට මහ රෝහලේ බෝම්බ පාර්සලයක් ඇති බවට ඇති වූ බියක් හේතුවෙන් රෝහල් පරිශ්‍රය දැඩි පරීක්ෂාවට ලක් කිරිම සිදු කෙරිණි.

බෝම්බ පාර්සලයක් රෝහල් පරිශ්‍රයේ නොතිබූ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කීය.

අද (25) උදේ සායන පැවැත්වෙන අවස්ථාවේ දී අයිතිකරුවෙක් නැති පාර්සලයක් ඇති බවට ජනතාව බියට පත් විය. 


උදෑසන 11.40

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහල ඉදිරිපිටද මේ වන විට   පාරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින බව පොලීසිය කියයි.


දෑසන 11.20

බදුල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ බෑගයක් අතැතිව සිටි කාන්තාවක දැක රෝගීන් 3000 ක් පමණ දෙනා බියට පත්ව අද (25) උදෑසන 10ට පමණ දිව ගිය බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

රෝහලින් පිටතට දිව ගිය රෝගින් අත තිබු ගමන් මලු තැන් තැන්වල දමා තිබීම දැක නගරයේ ජනතාව ද බියට පත්ව සිටින බව පොලීසිය කියයි.

(ප්‍රසන්න පත්මසිරි ඡායාරූප  හා කතාව)



උදෑසන 11.10
කටුනායක ගුවන්තොටුපොළ  රථගාලේ  තිබු සැකකටයුතු  මෝටර් රියක්  හේතුවෙන්  ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ.
 මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ  දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.


උදෑසන 10.00
හලාවත නගරයේ පිපුරුමක් සිදුවන බවට ලද තොතුරකට අනුව  හලාවත ප‍්‍රධාන බස්නැවතුම් පොළ මාලූ සහ එළවලූ වෙළදසැල ඇතුළු  ඇතුළු ස්ථාන කිහිපයක් සෝදිසියට ලක් කර ජනතාව ඉවත් කිරීමේ කටයුතුද සිදු කෙරිණි.


උදෑසන 9.36
සැකකටයුතු ලෙස බදුල්ල දුම්රියපොළ වීඩීයෝ ගත කරමින් සිටි  තරුණයින් දෙදෙනකු ද  පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 


(2019 අප්‍රේල් 24 වැනිදා සිදුවීම්) 


 

 සවස - 04.55                                                                           

කටාන පොලිස් බල ප‍්‍රදේශයට අයත් තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ පිහිටි කුඩා ආපනශාලාවක  බෑගයක් තුළ බෝම්බයක් ඇතිබවට සැකකර ගුවන් හමුදා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය බෝම්බයක් නොවන බවට තහවුරුවූ බව කටාන පොලීසිය කියයි.
 
මෙම සිද්ධියට සම්බන්ධ සීසීටීවී දර්ශනද උපයෝගි කර ගනිමින් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ප‍්‍රදේශයේ කරනු ලැබූ මෙහෙයුමකින් බෑගයේ අයිතිකරු පැයක පමණ කාලයක් තුල සොයාගැනීමට හැකිවූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.
 
මෙය එම ප‍්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි විදුලි කාර්මිකයෙකුට අයත් බෑගයක් බවත් එහි වයර් අඩු මිටි ඇතුළු උපකරණ තිබී ඇති බවත් සඳහන්වේ.
                                                                             
ඔහු ආපනශාලාව තුළට පැමිණ උදෑස ආහාර ගැනීමෙන් පසු බෑගය අමතක වී යතුරුපදියේ නැගී පිටව ගොස් ඇති අතර අසළ මේසයේ සිටි අඹුසැමි යුවලක් බෑගය දැක බියට පත්ව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.
 
කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවරත්න මහතාගේ උපදෙස් මතවැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

(හේමලතා ඩී හේවගේ)        

(ඡායාරූප - චන්දන ප්‍රනාන්දු)

 


සවස - 4.40
කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ  නිවසක් ඉදිරිපිට තිබු සැක කටයුතු පාර්සලයක්  පරීක්ෂා කළ  පොලිස් විශේෂ කාර්ය බළකාය එය පුපුරුවා හැර තිබේ.‍

එහි පුපුරණ ද්‍රව්‍ය කිසිත් හමු නොවී ඇති අතර පාර්සලයේ තිබී ඇඳුම් කිහිපයක් හමු වී ඇතැයි විශේෂ කාර්ය බලකාය කියයි.

(ඉන්දිකා රාමනායක)

(ඡායාරූප - ගයාන් ලසන්ත)



දහවල් 2.27
පිටකොටුව ගෑස්  පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව  පිටකොටුව පොලිසිය කියයි.

යතුරුපැදියේ අයිතිකරු හඳුනාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලිසිය පවසයි.
මෙහි පුපුරණ ද්‍රව්‍ය තිබී නැතැයි පැවසේ.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


දහවල් 2.07

කොළඹ කොටුව  පොලිස් මූලස්ථානය අසල  නවතා  තිබූ   සැක කටයුතු  යතුරු පැදියක්  ආරක්ෂක  අංශය   විසින් පරීක්ෂා කර ඇත.  
යතුරු පැදියේ   තිබී  කිසිදු   පුපුරණ ද්‍රව්‍යක්  හමුවී  නැත.
 
(ඡායාරූප   චතුර එස්. කොඩිකාර) 


ඊයේ (23) දිනයේ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ තිබී අයිතිකරුවන් නොවූ ඇඳුම් සහිත බෑගයක් පොලීසියට හමුවී ඇත.

මේවා ජනතාව සහ පොලීසිය හා ආරක්ෂක අංශයන් නොමඟ යැවීම සඳහා සිදු කරන්නක් විය හැකි බවට සැක කරන බවද කුරුණෑගල කොටිඨාශය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.


දහවල් - 12.04
 
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලක්දාස් ද මැල් විදුහල අසළ දමා ගොස් තිබූ සැකකටයුතු ගමන් මල්ලක් හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් අද (24 ) කුරුණෑගල නගරය තුළ ඇතිවිය. 
 
පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ කළ පරීක්ෂාවේදී එය කාන්තා සහ පිරිමි ඇඳුම් දමා තිබූ බෑගයක් වන බව අනාවරණය විය. 
 
මේ හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා ඇති විය.

(පුෂ්පකුමාර ජයරත්න )



උදෑසන 11.52

කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලය අසළ නවතා තිබූ අයිතිකරුවන් නොසිටි සැකකටයුතු කුඩා ප්‍රමාණයේ ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කර ලොරිය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය.
 
එම ලොරියේ ඇතුළත යතුරු සහ ජංගම දුරකථනයක්ද විය. පරීක්ෂාව අවසන් වනවිට එහි අයිතිකරු පැමිණි අතර කුරුණෑගල අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ලොරිය එම ස්ථානයේ දමා ගිය බව ඔහු පැවසීය.
 
ඔහුට දැඩි ලෙස අවවාද කළ කුරුණෑගල කොටිඨාශය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා මෙම ලොරියේ හිමිකාරිත්වය පිළිබඳව සැකයක් මතුවී ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතාට නියම කළේය. ලොරියේ  හිමිකරු මැල්සිරිපුර පන්ලියද්දේ පදිංචි අයෙකි. 

(පුෂ්පකුමාර ජයරත්න)

 


උදෑසන 10.47
 වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව සමීපයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලදී.
 එහෙත් යතුරුපැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නැත.