සාම විනිසුරු කසිප්පු පෙරද්දී මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ඔහුගේ සහයකයා සමග වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22500 ක් බැරල් හතරක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 7 ලක්ෂ 56000 , අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මේ දිනවල දිවයින පුරා සිදුකරන යුක්තියේ මෙහෙයුමට ලැබෙන මහජන ප්‍රතිචාර වලට සමගාමීව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්‍රදේශවාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව පොලිස් සැරයන් 69596 අනිල් නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවස වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

74 වියේ පසුවන සාම විනිසුරුවරයා 52 පුද්ගලයකු එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව කාලයක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබාදී ප්‍රදේශ රැසකට බෙදා හැර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.