සානුකම්පිත හේතු මත පොලිස් ඇප


( කේ බුද්ධික කුමාරසිරි )
 
වෙසක් පොහෝ දින මත්පැන් ළඟ තබා ගෙන විකීණීමේ නිරත වූ බව කියන 80 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් අසල විහාරස්ථානයකට ගොස් බුදුන් පුදා කළ වරදට සමාව ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ පුවතක්  පාදුක්ක පොලිසියෙන් වාර්තාවේ.

පාදුක්ක උග්ගල්ල ප‍්‍රදේශයේ නිවසක වෙසක් පොහෝ දින මත්පැන් අලෙවිකරන බවට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ ගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පාදුක්ක පොලිසියේ දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් පිරිසක් එම නිවස වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී එම නිවසේ තිබී විකිණීමට ගෙනවිත් තිබූ මත්පැන් බෝතල් 17 ක් සහ වූ බවත් එම මත්පැන් විකිණීමේ නිරත වූ බව කියන 80 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව සැකකරුගේ ඥාතීන් පොලිස් ස්ථානයට පැමිණ එදින වෙසක් පොහොය වන බැවින් සැකකරුගේ වයෝවෘද්ධ බව දෙස සානුකම්පිතව සලකා පොලිස් ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි මොරගහතැන්න ශී‍්‍ර මහා විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ පොහෝ දින කළ වරදට සමාව ගැනීම සහ යළි මෙවැනි නීති විරෝධී කටයුතු සිදු නොකරන බවට බුදුන් ඉදිරියේ පොරොන්දු වීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය.


කෙසේ වෙතත් වෙසක් පොහෝ දින මත් පැන් අලෙවි කිරීම සහ නීති විරෝධී ලෙස මත්පැන් ළඟ තබා ගැනිමේ චෝදනා යටතේ සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පාදුක්ක පොලීසිය පැවසීය.