සාගර විශ්ව විද්‍යාලයේ සේවකයෝ වර්ජනයක


අනීෂා මානගේ

 

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින් ද සහය දක්වමින්  රාජකාරී කටයුතු වලින් ඉවත්වී තිබේ.

මෙම වැඩ වර්ජනය ශ්‍රී ලංකා  සාගර විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති සංසදය විසින් සංවිධානය කර ඇත.

තංගල්ල ආයතනයේ සේවයකින් 41 දෙනෙකු වැඩවර්ජනයට සහය පළ කර රාජකාරී කටයුතු වලින් ඉවත්වී ඇත.

සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සිසු සිසුවියන් දෙසීයක පමණ පිරිසක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර වැඩවර්ජනය හේතුවෙන් ආයතනයේ ක්‍රියාත්මක උපාධි පාඨමාලා හා ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

වත්මන් පරිපාලකයින්ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිසුන් හා කාර්යය මණ්ඩලය අතර ගැටුම් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම, පරිපාලනය සඳහා අත්දැකීම් හා හැකියාවන් සහිත පුද්ගලයින් පත්නොකිරීම, වසර ගණනාවක සිට අතපසු කරන ලද ශ්‍රේණිගත කිරීම්, අදාළ වසර සම්පූර්ණ කරන ලද සේවකයින් හට ස්ථීර පත්වීම් ලබා නොදීම හා අභ්‍යන්තර උසස්වීම් ලබා නොදීම, රාජ්‍ය මුදල් අවභාවිතය, අනධ්‍යන කාර්යය මණ්ඩලයට හිමිවිය යුතු සියයට දහයක හිලව් දීමනාව ලබා නොදීම ඇතුළු කරුණු අටක් මුල් කරගනිමින් සේවයකින් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වේ.