සාකච්ඡාවක් අතරේ අධ්‍යාපන ලේකම් නැඟිට යයි


ගුරු ගැටළු හා පාසල්වල ගැටළු ගැන අධ්‍යාපන ඇමැති හා ගුරු සංගම් අතර අද (25) පැවැත්වූ සාකච්ඡාවකදී ගුරු සංගම්වල ප්‍රශ්න කිරීම් හමුවේ අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා නැගිට ගිය බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

පාසල්වල මුදල් එකතු කිරීම, ගුරු සේවයේ උසස්වීම් නොදීම, පාසලට ළමයින් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය නිකුත් නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී සාකච්ඡාව පැවැත්විණි.

ඊට අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද,  ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ අධ්‍යාපන සේවක සංගමයේ නියෝජිතවරු ද සහභාගී වූහ.

දින සියයේ වැඩ පිළිවෙලේ අංක 59 යටතේ ඇති පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛය මෙතෙක් ඉදිරිපත් නොකිරීම ගැන හා  පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ නව චක්‍රලේඛයෙන් මුදල් එකතු කිරීම නීත්‍යනුකූල කර ඇති බව කියමින් ගුරු සංගම් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අධ්‍යාපන ඇමැති සිටිය දී ලේකම් නැගිට ගිය බව ගුරු සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.

ලේකම් නැගිට ගිය පසු පැය එක හමාරක් පමණ සාකච්ඡාව පැවැතියේය.

අධ්‍යාපනයේ ඇති ගැටළු වලට අධ්‍යාපන ලේකම් කිසිවක් කර නැතැයි ද, විදුහල්පති පත්වීම් දෙද්දී වංචාවන් සිදුවී ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන කළ විමසීමක දී අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ සතුන් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නිසා නැගිට ගිය බවයි.

‘මං නැගිටලා ගියා තමයි. මට සතුන් එක්ක සාකච්ඡා කරන්න බෑ. එක ගුරු සංගමයක නියෝජිතයෙක් සතෙක් වගෙයි. ඔහු දිගින් දිගටම අඩුපාඩු අල්ලගෙන කෑ ගහනවා. ඔවුන් සමඟ සාකච්ඡා කරන්න මට බෑ. ඒ නිසා තමයි ඇමැතිවරයා සිටිය දී මා නැගිටලා ගියේ. පසුව මා ඇමැතිවරයා හමුවී සමාව ගත්තා.‘ යැයි ද අධ්‍යාපන ලේකම් කීවේය.