( තිළිණි ද සිල්වා )
එල්.ටී.ටී.ඊ.සංවිධානයට ස්විස්ටර්ලන්ත ෆෑන්ක් මිලියන 15.3 ක් රැස් කොට එම මුදල් වංචා කරන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් 13 දෙනකුගෙන් ස්විස්ටර්ලන්තයේ පෙඩරල් සාපරාධී අධිකරණය සාක්කි සටහන් කරගෙන ඇතැයි එරට පලවන ස්විස් ඉන්ෆෝ වෙබ් අඩවිය අද(5) වාර්තා කළේය.
මෙම තරුණයින් 13 දෙනාම දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ පිරිසක් වන අතර ඔවුන් ඊයේ(4) අධිකරණය හමුවට කැදවමින් මෙලෙස සාක්කි සටහන් කර ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
මෙම සාක්කි ලබාගැනීමේදී 1999 සිට 2009 දක්වා කාලය තුළ ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ වැසියන්ගෙන් එල්.ටී.ටී.ඊ.සංවිධානය සඳහා එකතු කරන ලද මුදල් සම්බන්ධයෙන් සියලු විස්තර අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට එම තරුණයින් 13 දෙනාට සිදු වී ඇත.
ස්විස්ටර්ලන්තයෙදී එකතු කරන ලද මුදල් ඩුබායි හා සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට එවා ඇති අතර 1999 සිට එසේ එවන ලද මුදල් ප්‍රමාණයද අධිකරණය මගින් විමසා ඇත.
එම තොරතුරු සියල්ල අධිකරණයට ලබා දීමට තමන්ට කාලය අවශ්‍ය බව සිය නීතීඥවරුන් හරහා මෙම සැකකාර දෙමළ තරුණයින් අධිකරණයට දැනුම් දී ඇති අතර පසුව ඔවුන්ට ඒ සදහා දින 20 ක කාලයක් අධිකරණය විසින් ලබා දී තිබේ.
ස්විස්ටර්ලන්තය තුල එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් නොවන නමුත් මහා පරිමාණයෙන් සිදුව ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කොට තිබීම නිසා එම අධිකරණයට තොරතුරු සාක්කි වශයෙන් ලබා ගැනීමට සිදු වී තිබේ.

