ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත


ඩයනා උදයංගනී 
 
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 

ඒ අනුව යුද්ධයෙන් පීඩාවට පත් සෙසු පිරිස් වෙත වන්දි ලබාදීමට රජය කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබාදීමට ස්වාමිනාදන් ඇමතිවරයා තුන්වැනි වරටත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා එසේ කරන්නේ කාගේ උවමනාවටද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීවේය.
 
‘‘එතුමාට දී තිබෙන්නේ උතුරු පළාත් ගැන කටයුතු කිරීමේ ඇමති ධූරයක්. එතුමා ඉදිරිපත් කළත් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළා. තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයයි. එහි වන්දි ලබාදිය යුතු කොටස් 10ක් පමණ සඳහන් කර තිබෙනවා. එයින් මිය ගිය ත‍්‍රස්තවාදී සාමාජිකයන්ට යන කොටස ඉවත් කර ඉතිරි ඒවා ක‍්‍රියාත්මක කළ හැකියි. සමහරු මේ දේ විකෘති කර වෙබ් අඩවි ආදියේ පළ කර තිබෙනවා. ජාතිවාදය, ආණ්ඩු විරෝධය වැපිරවීම සඳහා යොදවා තිබෙන පිරිස් විසින් මේ දේවල් කරනවා.‘‘