ස්පුට්නික් එක් මාත්‍රාවක් දෙන්නේ විශේෂඥ කමිටුවක උපදෙස් මතයි


(ඩයනා උදයංගනී)

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන අයට එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂඥ කමිටුවක උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මහජන සෞඛ්‍ය 1) වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතාගේ සභාපතීත්වයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී, වෛද්‍ය නාලිකා ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් එම විශේෂඥ කමිටුව මෙම තීන්දුව ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ මොහොතේ දී එම එන්නතේ එක මාත්‍රාවක් වුවත් ප්‍රමාණවත් බව ඔවුන් තීරණය කළ බව ද ඇමතිවරයා කියයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදීමේ දී එන්නත ලබාගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අත්සන් පත්‍රයට ‘එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුව ලබාගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.