ස්පාඤ්ඤ වැසියන්ට නිවාසවලින් පිටවීම තහනම්


කොරෝනා වයිරසය ව්‍යාපත්වීමෙන් ස්පාඤ්ඤයේ උද්ගතව ඇති හදිසි තත්වය හේතුවෙන් සිය පුරවැසියන්ට  නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කිරීමට එරට අගමැති පෙද්‍රෝ සැන්චිස් මහතා දැනුම් දී  තිබේ.

ඒ අනුව, ආහාර ඇතුළු දෑ මිලදීගැනීම, රාජකාරී කටයුතුවලට, ඖෂධ මිලදීගැනීමට  මිස මහජනයාට නිවාසවලින් පිටව යාම තහනම්ය.

ස්පාඤඤයේ වෙසෙන මිලියන 47ක පිරිසක් අතරින් මේ වනවිට 5,700දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 120දෙනෙකු මිය ගොසිනි.

ස්පාඤ්ඤය ආපනශාලා, මත්පැන්හල්, හෝටල්, පාසල්, විශ්වවිද්‍යාල වසා දමමින් පවතී. එසේම කොස්ටා බ්ලැන්කා වැනි  වෙරළ තීරයන්ද  වසා දමා ඇති අතර එහි කිසිවකු පැමිණේද යන්න පිළිබඳව පොලිසිය අවධානයෙන් සිටී.

ඉතාලියෙන් පසු වයිරසයේ බලපෑමට ලක්වූ රටවල් අතරින්, දෙවැනි විශාලතම බලපෑම සිදු වූ රට ලෙස ස්පාඤ්ඤය සැලකේ.