වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් අනෙකුත් රටවලටද මෙම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු කියා සිටී.
ඒ අනුව මුදල් අමාත්‍යංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මඟින් මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇත.
මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් 90000ක් ද, සම්බා මෙට්‍රික් ටොන් 60 000ක් ද, සුදු කැකුළු මෙට්‍රික් ටොන් 50 000ක් ද ආනයනයට ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙම මස 31 වැනිදා දක්වා මිල ගණන් ලබා ගැනීමට නියමිතය.
තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් මස 30 වැනිදා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් මස 30 වැනිදා වන විටත් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැළසුම් කර තිබෙන බවත් වෙළෙඳපොළ ඉල්ලුම අනුව අවශ්‍ය තරම් සහල් තොග සැපයීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

