සහරාන්ගේ වැඩ සොයා ගැනීමට නොහැකිවීම බුද්ධි නිලධාරීන්ගේ දුර්වලකමක් නොවෙයි


(*** මුදිතා දයානන්ද)

“සහරාන්ලාගේ අන්තවාදී කටයුතු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට බුද්ධි නිලධාරීන්ට නොහැකි වීම ඔවුන්ගේ දුර්වලකමක් හෝ අකාර්යක්ෂමතාවක් ලෙස දකින්න බැහැ. ජනතාවගෙන් ඔවුන්ට නිසි තොරතුරු නොලැබීම හා ත්‍රස්තවාදී කල්ලිය සූක්ෂමව තමන්ගේ කටයුතු කරගෙන යාමට සමත් වීමයි මෙහි ඇති ප්‍රශ්නය” යැයි නැගෙනහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා ඊයේ (18) පැවැසීය.

ඔහු මේ බව පැවැසූයේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි. එහිදී කොමිසමේ සාමාජිකයකු විසින් නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවැසීය.

එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ ඔහු මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

රජයේ නීතිඥවරයා :- නැගෙනහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට පෙර ඔබ සහරාන්ලා ගැන දැන සිටියා ද?
කපිල ජයසේකර මහතා :- නැහැ.

ප්‍රශ්නය :- ඔබට ඔහු ගැන කිසිවක්ම වාර්තා වී තිබුණේ නැද්ද? ඔහුට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා නේද? ඒ ගැනවත් දැන සිටියේ නැද්ද?
පිළිතුර :- 2017 මාර්තු 10 අලියාර් හන්දියේ තවත් මුස්ලිම් කණ්ඩායමක් සමග ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අපි විමර්ශන සිදුකළා. නමුත් ඔහු ප්‍රදේශය හැරගොස් තිබූ නිසා අත්අඩංගුවට ගන්න බැරි වුණා.

ප්‍රශ්නය :- ඇයි ඔහු අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ලබාගන්න උත්සාහ නොකළේ?
පිළිතුර :- එහෙම වුවමනාවක් මට දැනුණේ නැහැ.

ප්‍රශ්නය :- ඇයි ඒ?
පිළිතුර :- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ තවත් විශාල පිරිසක් ඉන්නවා. සහරාන් කියන්නේ ඒ අය අතර තවත් එක්කෙනෙක් විතරයි.

ප්‍රශ්නය :- සහරාන්ලාගේ අන්තවාදී කටයුතු පිළිබඳව පොලිස්පතිවරයා මගින් හෝ ඔබට දැනුවත් කිරීමක් ලැබුණේ නැද්ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- කිසිම ලිපියක් ලැබී නැද්ද?
පිළිතුර :- නැහැ. මට පෙර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ අලියාර් හන්දියේ ගැටුමෙන් පසුවයි. මා එහි ගියේ එම ගැටුමෙන් මාස කිහිපයකට පසුවයි.

ප්‍රශ්නය :- ඔබට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හෝ මේ ගැන දැනුවත් කර තිබුණේ නැද්ද?
පිළිතුර :- නැහැ.

කොමිසමේ සභාපතිවරයාගේ හරස් ප්‍රශ්න විමසීම් සඳහා ජයසේකර මහතා මෙසේ සාක්ෂි දුන්නේය.
ප්‍රශ්නය :- සහරාන්ලාගේ කණ්ඩායම අයිඑස් මතවාදය දැරූ බවක් ඔබට වාර්තා වී තිබුණා ද?
පිළිතුර :- නැහැ.

කොමිසමට මීට පෙර ඉදිරිපත්ව තිබූ සී 1010 ලේඛනය සාක්ෂිකරු වෙත පෙන්වීමෙන් අනතුරුව යළිත් ප්‍රශ්න කරනු ලැබීය.

ප්‍රශ්නය :- මේ ලේඛනයේ අලියාර් ගැටුම හා සහරාන්ලා ගැන සඳහන් වන අතර ඒ සමග ඡායාරූප කිහිපයක් තිබෙනවා. එහි මියගිය අයගේ ඡායාරූප යනුවෙන් සඳහනක් ද තිබෙනවා. එහෙත් අලියාර් සිදුවීමේදී කිසිවෙක් මියගිය බව ඔබට වාර්තා වී තිබුණා ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- එසේ එම සිදුවීමෙන් සහරාන්ගේ කණ්ඩායමේ හෝ වෙනත් අයකුගේ මරණයක් ගැන වාර්තා වී තිබුණේ නැත්නම් මේ මියගිය අයගේ ඡායාරූප ලෙස දක්වා තිබෙන්නේ අයිඑස්ලාගේ ඡායාරූප නෙවෙයි ද? මේ ඡායාරූපවල ඉන්නේ විදේශිකයන් බව හඳුනාගන්න බැරි ද?
පිළිතුර :- එහෙම හඳුනාගන්න බැහැ. මුස්ලිම් අය නිසා විදේශිකයන් ද ලංකාවේ අය ද කියලා මේ පින්තූරවලින් හඳුනාගන්න අමාරුයි.

ප්‍රශ්නය :- ඔබ මේ ලේඛනය පරිවර්තනය කර බැලුවේ නැද්ද?
පිළිතුර :- නැහැ. එහෙම අවශ්‍යතාවක් මතුවුණේ නැහැ.

සභාපතිවරයාගේ හරස් ප්‍රශ්න ඉන් අවසන් වූ අතර නැවතත් කොමිසමේ තවත් සාමාජිකයකුගේ හරස් ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය :- සහරාන් හෂීම් ගැන ඔබේ බුද්ධි නිලධාරීන් මගින් තොරතුරු වාර්තා වුණේ නැද්ද?
පිළිතුර :- එහෙම විශේෂ තොරතුරක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය :- ඔවුන් අන්‍යාගමිකයන් මරා දැමිය යුතු බවට මතයක් දරන බවට වාර්තා වුණෙත් නැද්ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- 2018 නොවැම්බර් 30 වැනිදා වවුනතිව් මුරපොළේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරා දැමීම සම්බන්ධයෙන් ඔබට වාර්තා වුණා ද? ඒ ගැන ඔබ විමර්ශන සිදුකළා ද?
පිළිතුර :- ඔව් එම සිදුවීම වාර්තා වුණා. ඒ ගැන විමර්ශන සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.

ප්‍රශ්නය :- මේක සිදුවුණේ ඔබේ පොලිස් බලප්‍රදේශයේ. ඒ නිසා ඒ ගැන සෙවීමේ වගකීමක් ඔබටත් තිබෙනවා නේද? ඔබේ බුද්ධි නිලධාරීන් යොදවා ඒ ගැන සෙව්වේ නැද්ද?
පිළිතුර :- අපි ඒ ප්‍රදේශයට ගියා. ප්‍රදේශයේ ආගමික නායකයන් බුද්ධිමතුන් ඇතුළු ජනතාව රැස් කර අපි ඔවුන් දැනුවත් කළා. ඔවුන් දන්නා තොරතුරු අපට ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටියා. ඒ සාකච්ඡාවට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් පවා සහභාගී වුණා.

ප්‍රශ්නය :- ඒක සාර්ථක වුණා ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණවලදී ඔබ සමග සම්බන්ධ වුණේ නැද්ද?
පිළිතුර :- නැහැ. ඔවුන් තනිවම වෙනමයි පරීක්ෂණ සිදුකළේ.

ප්‍රශ්නය :- ඔබගේ බුද්ධි නිලධාරීන්ට සහරාන්ලා සයින්දමරුදු හා නින්දවුර් වැනි ප්‍රදේශවල ආරක්ෂක නිවස්න මිලදී ගැනීම සම්බන්ධයෙන් වාර්තා වී තිබුණෙත් නැද්ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- ඒක ඔබේ නිලධාරීන්ගේ දුර්වලතාවක් ලෙස දකින්නේ නැද්ද?
පිළිතුර :- නැහැ. ඒක ඔවුන්ගේ දුර්වලතාවක් ලෙස කියන්න බැහැ.

ප්‍රශ්නය :- පාස්කු ඉරු දින ප්‍රහාරය ආසන්නයේම සහරාන්ලා බයිසිකලයක් පුපුරුවා හැරීම ගැන ඔබ දැන සිටියා ද?
පිළිතුර :- ඔව් මගේ නිලධාරීන් එදිනම දැනුවත් කරමින් කිව්වා බයිසිකලයක් ගිනි අරන් තිබෙනවා. ඒත් ඒක පිපිරීමක් වගේ තමයි පේන්නේ කියලා. මම කිව්වා එතනට ආරක්ෂාව යොදවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගෙන්වා විමර්ශන ආරම්භ කරන්න කියලා.

ප්‍රශ්නය :- මෙවැනි පිපිරීමක් සිදුවුණාට පස්සේවත් ඔබට අන්තවාදීන්ගේ කටයුතු ගැන සොයන්න පෙළැඹීමක් ඇති වුණේ නැද්ද?
පිළිතුර :- නැගෙනහිර පළාත කියන්නේ කාලයක් යුද්ධයට මුහුණ දුන් ප්‍රදේශයක්. යුද්ධයෙන් පස්සේ ගොවීන් වගා කරන්න පටන් ගත්තාම කුඹුරුවල පවා සඟවා තිබූ පොඩි පොඩි බෝම්බ පිපිරුණා. එවැනි සිදුවීම් හැත්තෑවක් අසූවක් පමණ වාර්තා වී තිබුණා. ඒ නිසා මේක විශේෂ දෙයක් ලෙස දකින්න අවශ්‍ය වුණේ නැහැ.

ප්‍රශ්නය :- තැන තැන තිබූ බෝම්බ පිපිරුවත් ඒ දක්වා බයිසිකලයක් පිපිරීම වැනි සිදුවීමක් වාර්තා වී තිබුණේ නැහැ නේද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිපිරීම සිදුවන තෙක් ඔබ සහරාන්ලා ගැන දැන සිටියේම නැද්ද?
පිළිතුර :- නැහැ.
අනතුරුව ඔහුට පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කරන ලද ලේඛන කිහිපයක් පෙන්වා ප්‍රශ්න කළ ද එවැනි ලිපි කිසිවක් තමන්ට ලැබී නොතිබුණ බව පැවැසීය.
කොමිසමේ තවත් සාමාජිකයකුගේ හරස් ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය :- පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර නැගෙනහිර පළාතේ අන්තවාදී ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදුවුණ බව මීට පෙර මේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අයගෙන් වාර්තා වුණා. ඔබ ඒවා ගැන දැන සිටියේ නැද්ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- ඔබ යටතේ සිටින බුද්ධි නිලධාරීන්ගේ වගකීමක් නේද ඒවා සොයා බැලීම? ඒවා ඔබට වාර්තා වුණේ නැහැ කියන්නේ ඔවුන්ගේ දුර්වලකමක් නෙවෙයි ද?
පිළිතුර :- එහෙම පාර්ශ්විකව ඔවුන්ගේ දුර්වලකමක් ලෙස හෝ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවක් ලෙස හෝ එය දකින්න බැහැ. ඔවුන්ගේ දැනීමේ හැටියට බුද්ධි තොරතුරු වාර්තා කිරීම දිගටම සිදුවුණා. ඔවුන් තොරතුරු ලබාගන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. ඒ අයගෙන් මෙවැනි තොරතුරු ලැබුණේ නැහැ. ඒ වගේම සහරාන්ලාගේ කල්ලිය දක්ෂ වෙලා තිබෙනවා ඉතාමත් සූක්ෂමව මේ කටයුතු කරගෙන යාමට.

ප්‍රශ්නය :- ජනතාවගෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගන්න ඔවුන් දක්ෂ විය යුතුයි නේද?
පිළිතුර :- ඔව්. අපට නොලැබෙන දේ ඔවුන්ගෙන් ලබාගැනීම බුද්ධි නිලධාරියාගේ වගකීමක්.

ප්‍රශ්නය :- අයිඑස්ලාගේ ලාංඡනය සහිත කොඩි අරගෙන කිසියම් පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පෙළපාලි ගිය බව ඔබ දන්නේ නැද්ද?
පිළිතුර :- මට එහෙම මතකයක් නැහැ.

ප්‍රශ්නය :- මේ විදිහට තොරතුරු නොලැබීම නිසා සාමාන්‍ය ජනතාව තුන්සියයක් පමණ මියගියා. ඔබ යටතේ සිටින නිලධාරීන් මෙහෙයවා ගෙන මේ තොරතුරු වේලාසන ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ඔබට පවතින වගකීමෙන් මිදෙන්න බැහැ නේද?
පිළිතුර :- බැහැ.

නැවතත් කොමිසමේ සභාපතිවරයා කපිල ජයසේකර මහතාගෙන් ප්‍රශ්න කළේය. ඒ කොමිසමට ඉදිරිපත්ව තිබූ සී 1006 හා සී 1006 ඒ ලේඛන පෙන්වමිනි.

ප්‍රශ්නය :- මේ ලිපි යොමු කර තිබෙන්නේ පොලිස්පතිවරයා මගින්. මෙහි මොනවා ද තිබෙන්නේ?
පිළිතුර :- සහරාන්ලා මුහුණුපොත මගින් ගෙන ගිය ප්‍රචාරයන් ගැන සඳහන් වෙනවා.

ප්‍රශ්නය :- එච්චර ද? එහි තිබෙනවා නේද ඡායාරූප කිහිපයක්?
පිළිතුර :- ඔව්.

ප්‍රශ්නය :- එහි තිබෙන්නේ සහරාන්ලා මුහුණුපොත මගින් ප්‍රචාරය කළ දේවල් පිළිබඳව ලබාගත් පරිගණක තිරයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක් නේද? ඔබ මේක පරිවර්තනය කළා ද?
පිළිතුර :- නැහැ.

ප්‍රශ්නය :- ඇයි ඒ?
පිළිතුර :- මම ඒක මා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් විමර්ශන නිලධාරීන්ට යොමු කළා.

ප්‍රශ්නය :- ඔවුන් එය පරිවර්තනය කළා ද?
පිළිතුර :- ඔව්.

ප්‍රශ්නය :- එහෙම පරිවර්තනයක් කළා නම් මේ ලිපිගොනුවට ඒක ඇතුළත් වෙන්න ඕන නේද?
පිළිතුර :- ලිපිගොනුවේ එහෙම එකක් නැහැ.

ප්‍රශ්නය :- පොලිස්පතිවරයා මේක යොමු කළේ ඔබට නේද?
පිළිතුර :- ඔව්

ප්‍රශ්නය :- එහෙම නම් ඇයි ඔබ මේක පරිවර්තනය නොකර පහළ නිලධාරීන්ට යොමු කළේ?
පිළිතුර :- විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන සිදුකරන නිසා ඔවුන් එය පරිවර්තනය කරගන්නවා.

ප්‍රශ්නය :- ඔබ නේද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති? ඔබ මේක පරිවර්තනය කළා නම් සහරාන්ලාගේ අන්තවාදී ක්‍රියා ගැන වේලාසන දැනගන්න තිබුණා නේද?
පිළිතුර :- ඔව්.