(පාලිත ආරියවංශ)
ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව වැලිමඩ පොලිසිය පවසයි.
හම්බන්තොට පිහිටි පුහුණු කඳවුරකදී සහරාන්ගේ දේශනවලට සහභාගී වී අවි පුහුණුව ලබා ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව ප්‍රකාශ කළ බවත් එහිදී ටී - 56 සහ පිස්තෝල භාවිතය පිළිබඳව මූලික පුහුණුව ලබාගත් බවත් සැකකරු පවසා තිබේ.
මාදම්පේ පිහිටි අරාබි විදුහලක ශිෂ්‍යයෙකු වන නමුත් මාසයක පමණ කාලයක් පාසැල් නොයෑම හේතුවෙන් පාසැලෙන් ඉවත් කර ඇති බවත් සැකකරු පවසා තිබේ.
මාවනැලේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් තමාගේ මිතුරන් යැයි පැවසූ සැකකරු තමා එම සිද්ධියට සම්බන්ධ නොවූ බවද පවසා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු ගමට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත වැලිමඩ පොලිසිය විසින් ඉකුත් 15 දා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

