(*** නිමන්ති රණසිංහ)
සහ්රාන් හෂීම් මේ සමාජයෙන් ඉවත් නොකළහොත් මෙවැනි විනාශයක් සිදුවේයැයි මා 2015 වර්ෂයේ සිටම රජයේ ප්‍රධානීන් දැනුවත් කර සිටියා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) ප්‍රකාශ කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 18 වැනි දිනයටත් සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවැසුවේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා නියෝජනය කරමින් ජනපති කොමිසම හමුවේ පෙනීසිටින්නේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාය.
දින 18ක් පුරා කළ සාක්ෂිදීම අවසන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (25) සිට සිය සාක්ෂිවල හරස් ප්‍රශ්නවලට පිළිතුරුදීම ආරම්භ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු තොරතුර ලෙස ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 04 වැනිදා ඉන්දියාවෙන් ලද තොරතුරු බුද්ධි තොරතුරක් නොවන අතර එය විශ්ලේෂණය කිරීමෙන් පසු බුද්ධි තොරතුරක් ලෙස ගත් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.
රාජ්‍ය බුද්ධි සේවයෙන් වෙනත් අංශවලට යැවිය යුත්තේ තොරතුරු නොව “බුද්ධි තොරතුරු” බවත් අප්‍රේල් මස 04 වැනිදා විදේශයෙන් ලැබුණේ මුල් තොරතුරක් පමණක් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙම විදේශීය බුද්ධි තොරතුරු ලද 04 වැනිදා මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ගැටලුවක් නොතිබුණ බැවින් ඒ සම්බන්ධයෙන් තමන් විමර්ශනය කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
වර්ෂ 2015දී රට තුළ හදිසි නීතිය ඉවත් කළද දිගන ප්‍රදේශයේ සිදුවූ සිදුවීමෙන් පසුව එනම් වර්ෂ 2016 මාර්තු මස 06 වැනිදා නැවත වතාවක් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් හදිසි නීතිය නැවත ගෙන ආ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
මෙහි හරස් ප්‍රශ්න ඇසීම අද (26) දිනයේද කොමිසම හමුවේ විභාගවීමට නියමිතව ඇත.

