(උණවටුන ඩී.ජී. සුගතපාල, නෙළුව පී.ජයවික්‍රම සහ සුරේෂ් කේ. පෙරේරා)
නෙළුව කොස්මුල්ල දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවට අයත් වතු නේවාසිකාගාරයේ කොටුවී සිටි කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට යද්දී කේබලය කැඩීමෙන් ඇද වැටුණු ගුවන් හමුදා සහන සේවා කණ්ඩායමේ ගුවන් භටයා කරාපිටිය රෝහලේදී මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයෙකි.
දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවේ කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළ බසිද්දී මෙම ගුවන් භටයා අඩි 30ක් පමණ ඉහළ සිට ඇද වැටී තිබේ. පසුව වෙනත් ගුවන් භටයකු විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලේ ඇතුළත් කරන ලදි.

