(ටී.කේ.ජී.කපිල )
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි ඒ.ආර්.බණ්ඩාර මැණිකේ නැමැති කාන්තාවකි .
ඇයගේ මළ සිරුර සමඟ තවත් එරටේ දී මියගොස් සිටි ඉන්දියාවේ තිවේන්ද්‍රම් හි පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළේ ගල්ෆ් ගුවන් සේවා කාර්යාලයට භාර දී තිබුණේ එම මළ සිරුරු අදාළ රටවලට යැවීම සඳහාය. එහෙත් එහිදී සිදු වූ වැරදීමකින් මෙම මළ සිරුරු දෙක මාරු වී ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ගල්ෆ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත මළ සිරුර භාර ගැනීම සඳහා පැමිණ සිටි බණ්ඩාර මැණිකේගේ ඥාතීන් මෙම මළ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ විමසා බලා ඇති අතර එය ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකුගේ බව අනාවරණය වී තිබුණි.
මේ වනවිට මෙම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර ඉන්දියාව වෙත ආපසු යැවීම සඳහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත යළි ඇසුරුම් කිරීම සඳහා භාර දී ඇති අතර එය අද (22) ගල්ෆ් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් තිවේන්ද්‍රම් වෙත යැවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මියගොස් සිටින බණ්ඩාර මැණිකේගේ මළ සිරුර ඉන්දියාවේ සිට හෙට (23) මෙරටට රැගෙන ඒමට නියමිතය.

