සරසවි සිසුන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක්


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ලෙස පහර දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දින දහයක් ගතව තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා අද (13) අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පසුගිය 3 වැනි දා පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ආකාරයට පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් විසින් පහර දී තිබිණි.


මෙම සිද්ධියෙන් වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා මේවන විටත්  කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.


මෙම පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ වෛද්‍යවරු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.


එම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා මෙසේද පැවසීය.


පේරාදණිය සරසවියේ සිසුන් 12 කට පමණ කණ්ඩායමක් මෙම වෛද්‍යවරයාට අමානුෂික ආකාරයට පහරදී තිබුණා.


පසුව ඔහු සිහිසුන්ව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබුවා. දැන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මොළයට සහ දකුණු බාහුවට මෙම පහර දීමෙන් හානි  සිදුවී තිබෙනවා.


මේක මහ අපරාධයක් මේ වෛද්‍යවරයා තමයි පළාත් තුනක රෝගීන්ගේ ස්නායු සැත්කම් කරන්නේ මෙම වෛද්‍යවරයා. මෙම පහර දීම නිසා තවත් සති තුන හතරක් ඔහුට සිය රාජකාරි සිදුකර ගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේවන විට අපි පොලිසියේ උසස් නිලධාරි දැනුවත් කලත් තවමත් පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.


එම නිසා මීට විරැද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව වෛද්‍ය විතානගේ මහතා මෙහිදී පැවසීය.