සරසවි විරෝධතාව වළක්වන්නැයි කළ ඉල්ල‍ිම අධිකරණයෙන් ඉවතට


(රෝෂන් තුෂාර)

කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දින සංවිධානය කරන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (18)ප්‍රතික්ෂේප කළේය.
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කරනවා යැයි කියන විරෝධතාවය  හෝ පෙළපාළිය වැළැක්වීම කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතරවන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් වන බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එවන් නියෝගයක් නිකුත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොව හතර වගන්තිය යටතේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ බවට පෙනී යා යුතු බවද සඳහන් කළේය.
කුරුඳු වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීම පෙරදැරි කරගෙන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එම වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමට හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් පෙන්වා දිය යුතු බව පැවසීය.  එසේ හදිසි හා අත්‍යවශ්‍ය බවක් තිබෙන බවට මූලික සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවද පැවසීය.