සරසවි අස්සේ මත් ද්‍රව්‍ය බෙදන හැටි ජනපති හෙළි කරයි


(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ ප්‍රකාශ කළේය.

තරුණ පරම්පරාව, සරසවි සිසුන් හා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් යනාදි අවදානම්වලින් බේරාගැනීමේ අභියෝගයක් හා ඒ සඳහා සාමූහිකව කටුයතු කිරීමේ අවශ්‍යතාවක් ද අද වනවිට රට හමුවේ ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“මේ ළඟදි මට විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් කතා කළා. විශ්ව විද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින තත්ත්වයක් ආරම්භ වෙලා තිබෙන බවට ඔහු මට කීවා. එවැනි පසුබිමක් අපේ රටේ තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමේදී රටේ සියලු දෙනාටම පුළුල් වගකීමක් තිබෙනවා. සාමූහික වගකීමක් දැරිය යුතුව තිබෙනවා. රටේ දරුවන් රටේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින්, මත් රකුසාගෙන්, මත් පෙතිවෙලින් බේරා ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන්, ඒ සඳහා අපට රටක් ලෙස , ජාතියක් ලෙස, සමාජයක් ලෙස, ගුරුවරුන් හා මාපියන් ලෙස අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සඳහා අද වනවිට දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා” යැයි ද ජනාධිපතිවරයා තවදුරටත් කීය.