සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයක


(සෙනරත් බණ්ඩාර)

පොරොන්දු වූ පරිදි මාසික හිලව් දීමනාව ලබාදීම, දේපල ණය සීමාව වැඩි කර ගැනීම, වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩල සේවකයෝ අද (25) සංකේත වැඩ වර්ජනයක නිරතවූහ.

සිය ඉල්ලීම් ඉටු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිඛිතව දැනුම් දී තිබෙන නමුත්  වසර එකහමාරක් ඉක්මවා ඇතත් ඒ දැනුම්දීම මේ දක්වා ඉටුවී නැතැයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රධාන ඉල්ලීම් මෙන්ම අත්හිටවූ භාෂා දීමනාව ලබා ගැනීම, සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවටම විශ්‍රාම වැටුපක් ලබා ගැනීම, 2006 සිට මේ දක්වා බදවා ගැනීමේ පරිපාටිය පිළියෙල නොවීම වැනි ඉල්ලීම් කිහිපයක් ඉටු කරන ලෙස ඉල්ලා ඒ සදහා ද ලිඛිත අනුමැතිය ලැබුණු බව ඒ මහතා කීවේය.

ඒ අනුව විශ්ව විද්‍යාල 15ක 15 000ක් පමණ වන අනධයයන කාර්යය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් දියත් කළ බවත් ඒ අනුව පේරාදෙණිය ඇතුළු සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන  කටයුතු අඩාල වුණු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. නමුත් උපාධි ප්‍රදානොත්සවය සාර්ථක කර ගැනීම සදහා සබරගමුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්යය මණ්ඩලය ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් ඇතැම් විශ්ව විද්‍යාලවල විභාග රාජකාරී වෙනුවෙන් මානුෂීය සේවයක් ලබා දීමට අනධ්‍යයන කාර්යය මණ්ඩල ඉදිරිපත්වී සිටින බවත් සම සභාපතිවරයා පැවසීය

මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු ඇණහිට තිබුණි