
(නිපුන් ගරුක)
“සයුර රකින රැල්ල” ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතය සහ “සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභ්‍යාස ආයතනය” (MEPA Academy) විෂය භාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.
වෙරළ පවිත්‍ර කිරීමේ ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතයක් ලෙස “සයුර රකින රැල්ල” ආරම්භ වන අතර තරුණ තරුණියන්ට සමුද්‍රීය රැකියා අවස්ථා සඳහා දැනුම ලබා දීමේ අරමුණ ඇතිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභ්‍යාස ආයතනය (MEPA Academy) ආරම්භ කර ඇත.
“එම්.ඊ.පී.ඒ ඇකඩමිය”ට අදාළ අවබෝධතා ගිවිසුම සාගර විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ හුවමාරු කර ගැනීම සහ ඇකඩමියට අදාළ නිල ලාංඡනය එළිදැක්වීම ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණු අතර අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් නිර්මාණය කළ රුපියල් විසි පහක් වටිනා විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය අග්‍රාමාත්‍යතුමාට මෙහි දී පිළිගැන්විණි.
ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජවෙල් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත (සංවර්ධන වැඩසටහන්) රොබට් ජුගාම් මහතා මෙහි දී මෙරට සමුද්‍රීය කලාප රැක ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිත්‍යාග කළ සමුද්‍රීය ආරක්ෂණ උපකරණ කට්ටල සහ සයුර රකින රැල්ල ගීත නිර්මාණය අඩංගු ගීත තැටිය ගායක භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් මහත්වරු විසින් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබූහ.
සැප්තැම්බර් මස 18 යෙදී තිබුණු අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර, තැපැල්පති රංජිත් ආරියරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.






