සයිබර් ආරක්ෂණයට අලුත් නීති


(ඩයනා උදයංගනී)

සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් සයිබර් අවකාශය හරහා සිදුකෙරෙන විද්‍යුත් සන්නිවේදනය ජාතික ආරක්‍ෂාවට ඍජුව බලපෑම් කළ හැකි සාධකයක් ලෙස හඳුනාගෙන ඇතැයි ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට තම ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් හා කාර්යක්‍ෂමව සිදුකිරීමට හැකි පරිදි අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි නව නීති සම්පාදනයට මෙහිදී තීරණය කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද අලහප්පෙරුම මහතා පැවසීය.