(ඉන්දිකා රාමනායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල)
■ හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට එරෙහිව වෙඩි හුවමාරු
■ මියගිය ගණන 16 යි
■ ඇඳිරි නීතිය දිගටම
■ අයිසිස් නිල ඇඳුමක් සහ අයිසිස් ලාංචනය සහිත පසුබිම් තිරයක් සොයාගනී
■ ජෙලිග්නයිට් කූරු 150 ක්, යකඩ බෝල 100,000 සහ ඩ්‍රෝන කැමරාවක් අත්අඩංගුවට
-----------------------------------------------------------------------------------------------------
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී ශ්‍රී ලංකා යුද හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් සමග ඇතිවූ ගැටුමේදී මියගිය ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ගැටුමේදී හමුදා සාමාජිකයන් කිසිවකු අනතුරට පත්වී නැති නමුත් ත්‍රස්තවාදීන් යයි සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සහ කාන්තාවන් 4 දෙනකුද දරුවන් 6 දෙනකුද මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.
සයින්දමර්දු ප්‍රදේශයට ඊයේ (26) රාත්‍රී පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සොදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
සෝදිසි මෙහෙයුමක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පුපුරවා ගැනීම් 03ක් සිදුවිය. එම පුපුරුවාගැනීම් වලදී පිරිසක් මියගිය අතර තවත් තිදෙනකු හමුදා සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇතැයි සැක කෙරේ. එම පුපුරවාගැනීම්වලින් දිවි නසාගත්තේ යැයි සැකකෙරෙන 15 දෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගන්නා ලදී.
මියගිය අය අතර පිරිමි 6 දෙනෙක්, කාන්තාවෝ සිව්දෙනෙක් සහ දරුවෝ 6 දෙනෙක් සිටිති. ගැටුමින් සහ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු අම්පාර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ මියගිය 16 දෙනා අතර මරාගෙන මැරෙන බෝම්බකරුන් තිදෙනකු සිටින්නට ඇති බවයි.
ආරක්‍ෂක හමුදා විසින් ඊයේ සවස අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ කළ තවත් සොදිසි මෙහෙයුමකදී අයිසිස් නිල ඇඳුමක් සහ අයිසිස් ලාංචනය සහිත පසුබිම් තිරයක් ද, ජෙලිග්නයිට් කූරු 150 ක්, යකඩ බෝල 100,000 සහ ඩ්‍රෝන කැමරාවක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ සෑදීමට ගන්නා උපකරණ අසුවන්නේ පුද්ගලයන් 250 කට වැඩි පිරිසකට මරු කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින 6 කට පසුවය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ නිවේදනයකින් කියැවෙන්නේනේ හමුදා සාමාජිකයක් හඳුනාගත් තිප්පලක් වෙත ගමන් කරමින් සිටියදී පිපිරීම් තුනක් සිදුවූ බවයි. ඒ සමගම වෙඩි හුවමාරුව ආරම්භ වූ බවද එම නිවේදනයේ සටහන් වී තිබිණ.
“හමුදාව ප්‍රතිප්‍රහාර දුන්නා. ඊට පස්සේ අපි එතැනට කඩාවැදී සෝදිසි මෙහෙයුම් කිරීමේදී පුපුරන ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් අල්ලා ගත්තා” යයිද බි්‍රගේඩිර් සුමිත් අතපත්තු මහතාගේ නිවේදනයේ දැක්වේ. මෙම සන්නද්ධ කල්ලි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් වන බව හමුදාවේ අනුමානයයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයටයි.
බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉතා හොඳින් අධ්‍යාපනය ලද නමුත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනකු මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි. ඔවුන්ගෙන් 8 දෙනකු මේ වන විට හඳුනාගනු ලැබ ඇති අතර අයෙක් කාන්තාවකි.
ආරක්‍ෂක හමුදා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ අයිසිස් ත්‍රස්තයන් සමග සම්බන්ධතා පවත්වන 140 කට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් සොයාගැනීම සඳහා මෙහෙයුම් කරන බවත්ය. මේ වන විට අත්අඩංගුවට ගන්නා ලද 76 දෙනකු පොලිසිය විසින් රඳවාගනු ලැබ සිටින අතර ඒ අතර සිරියානු සහ ඊජිප්තු ජාතිකයෝද වෙති.







ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල

