සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ


(විනීතා එම් ගමගේ)

සයිටම් ආයතනය රජයට පවරා ගත් බව කියමින් ජනතාව රැවටූවත්  ජනවාරියේ නවක සිසුන් බඳවා ගැනීමට සයිටම් ආයතනය හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවක දී රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ  සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව හෙළිදරව් කළේය.

සයිටම් ආයතනය රජයට පවරා ගෙන නැති බවත් සිදුවී ඇත්තේ ලංකා බැංකුවට සින්න වීමට ගිය සයිටම් ආයතනය බේරා, සයිටම් මුදලාලි ගොඩ දැමීමට මුදල් පොම්ප කිරීමක් පමණක් බවත් රත්නායක මහතා සඳහන් කළේය. 

විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දුන් සමබර හා සාධනීය විසඳුම මත සිට වහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් මෙතෙක් සයිටම් ආයතනයට එරෙහිව කළ සියලු විරෝධතා අභිබවා දැවැන්ත විරෝධතාවකට යන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 
‘‘සයිටම් අර්බුදය ආරම්භ වුණේ වංචා සහගත වැඩ නිසා. අධ්‍යාපනයේ හර පද්ධතිය, නීතිරීති කඩ කරගෙන, දේශපාලන බලය මත මේක ස්ථාපිත වුණේ. ආණ්ඩුවේ බලධාරින් වංචාවට එරෙහි විය යුතු නමුත් ඒක සිද්ධ වුණේ නැහැ“ යයි පැවසූ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගම් සභාපතිවරයා....

“සයිටම් ආරම්භයේ දි පුවත්පත් දැන්වීම් දැම්මේ වෛද්‍ය සභාව අනුමත උපාධියක් ලබා දෙනවා කියලයි“

“අහිංසක දූ දරුවන් 900 ක ගේ මුදල් රුපියල් ලක්ෂ 120 බැගින් අයකර ගත් මේ වංචාකාරින්ව බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම විසින්ම රැකගත්තා. විරුද්ධ පක්ෂයේ සිටිද්දි සයිටම්ට විරුද්ධ වූ දේශපාලඥයින් බලයට ආ ගමන් සයිටම් මුදලාලිගේ ඔඩොක්කුවට වැටුණා.“  යයිද පැවසීය. 

“මේ අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. වෛද්‍ය පීඨ සියල්ලම මාස 9 ක් තිස්සේ අක්‍රීයයි. මේ නැවතී ඇත්තේ වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලියයි. අද වනවිට සිමාවාසික වෛද්‍යවරු නැහැ. වාට්ටුවල  සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් අරන් සේවා ස්ථානවලට යන්න විදියක් නැහැ. මේක දුෂ්කර ප්‍රදේශවලට බලපානවා. මේ වසරේ වැඩිම උද්ඝෝෂණ ගණනක් සිදුවුණේ සයිටම් ආයතනයට විරුද්ධවයි.“

‘ලබන සඳුදා යළිත් සයිටම් ආයතනය පිළිබඳ විසඳුමක් ඉදිරිපත්  කරන බව කිව්වා. නමුත් ජනතාවාදී නැත්නම් ඒ කිසිම විසඳුමක් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. සෑම මට්ටමක්ම එක්ව සයිටම් අහෝසි විය යුතුයි කියන තැන ඉඳන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහාචාර්යවරු පවා එහෙම කිව්වා. සයිටම් අහෝසි කිරිම හැර වෙනත් විසඳුම් භාර ගන්න අපි සුදානම්  නැහැ“යැයි ද රත්නායක මහතා පැවැසිය.