සයිටම් සිසුහු ජනපතිට ලියති


මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් නිකුත් කරන ලද විසඳුම් මාලාව මගින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.

එය රටේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස රටේ අනාගතය ගැන කල්පනා කරගත් දූරදර්ශී පියවරක් බවත් එම ලිපියේ සඳහන් කරන සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එමගින් වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ තමන්ට ඇති කළ විවිධ බලපෑම් නිසා තම අධ්‍යයන කාලය නිරපරාදේ දීර්ඝ වී ඇති බවත් වසර 6ක වෛද්‍ය අධ්‍යාපනයකින් පසු ආරම්භ කිරීමට තිබූ සීමාවාසික පුහුණුව වසර 9කට ආසන්න කාලයක් ප්‍රමාදවී ඇති බවත්ය. එබැවින් රජයේ විසඳුම් මාලාව වහා ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

අදාළ වාර්තාවේ දැක්වෙන සෑම කරුණක්ම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බවත් ප්‍රධාන අගතියට පත් පාර්ශ්වය ලෙස සයිටම් සිසුන්ට මූලික කරගෙන ක්‍රියාත්මක කරන්නට යන විසඳුම සඳහා තම අදහස් ලබාගැනීම වැදගත් බවද එම ලිපිය මගින් පෙන්වා දෙන අතර ඒ සඳහා සයිටම් වෛද්‍ය සිසුන් වන තමන්ට ජනපති මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ශානක ද සේරම් ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ජනපතිට යොමු කර ඇත.