සයිටම් සිසුන් 980 ක් කොතලාවලට


 

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ.


ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.


එම පනත් කෙටුම්පතට අනුව 2009 සැප්තැම්බර් 15 වැනි දා සිට 2017 මැයි 15 වැනි දා දක්වා කාලය තුළ මාලඹේ සයිටම් ආයතනය තූළ ලියාපදිංචි වු සිසු සිසුවියන් අතරින් මුලික සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර් ග්‍රහණය කෙරේ.


මෙහිදී එම සිසුන්ගේ මුලික සුදුසුකම් විය යුත්තේ අපොස උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුන ලබා තිබිමය.


ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු කරගන්නා සයිටම් සිසුන්ට වෛද්‍යවේදී ශල්‍යවේදී උපාධිය නැතිනම් එම්.බී.බී.එස්.උපාධිය පිරිනැමේ.


මෙම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.