සයිටම් සම්බන්ධ තීන්දු තීරණ රැසක් හෙට


(හර්ෂණ තුෂාර සිල්වා මහනුවර සිට)

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප‍්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර දී අද(14) පැවැසීය.

රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තුරු සිසුන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි සයිටම් පාලනාධිකාරියට දැනුම් දුන් බව ද උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා එහිදි කීවේය. 
එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින සැමරුම් උළෙල අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාමාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. 
එමෙන්ම මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ආණ්ඩුවට පවරා ගන්නා බවත්, ඒ සඳහා වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා කැමැත්ත පළ කර ඇති බවත් ඒ වෙනුවෙන් කිසිදු මුදල් ගෙවීමක් නොකරන බවත් මහාමාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා කීය. 
එහිදි අදහස් දැක් වූ කිරිඇල්ල අමාත්‍යවරයා මෙසේ ද කීය.
“නෙවිල් ප‍්‍රනාන්දු රෝහල අපි ආණ්ඩුවට පවර ගන්නවා. ඒ සඳහා වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපි කිසිදු වන්දි මුදලක් ගෙවන්නේ නැහැ. නෙවිල් ප‍්‍රනාන්දු මහතා කැමැත්තෙන් රෝහලට අපට දුන්නා. අපි පහුගිය ආණ්ඩුව වගේ කිසි දෙයක් බලෙන් ගන්නේ නැහැ. නෙවිල් ප‍්‍රනාන්දු මහතා එක්තරා සීමාවකට ආවා. ඔහු රෝහල කැමැත්තෙන් දුන්නා. රෝහල ඉතා දියුණු රෝහලක් කරන්න ඔහුට අවශ්‍යයි. ඒ නිසා ඔහු රෝහල රජයට ලබාදෙනවා“
“ඒ වගේම හෙට තීන්දු තීරණ දැනුම් දෙන නිසා ඒවා ක්‍රියාත්මක කරන තෙක් සිසුන් බඳවා නොගන්නා ලෙස අපි සයිටම් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අපි පොරොන්දු වූ වෙනස්කම් රැසක් හෙට ප‍්‍රකාශයට පත් කරන තීන්දුවලට ඇතුළත් වෙනවා. සයිටම් සිසුන්ගේ ප‍්‍රමිතිය නැති බව කී නිසා සයිටම් සිසුන් අවසාන විභාගයට පෙනී සිටින්න කැමැත්ත පළ කළා. මේ සියල්ල කඩිනමින් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි  ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.