සයිටම් වෙනුවට ආයතන දෙකක්


රංජන් කස්තුරි

සයිටම් ආයතනය අහෝසි කර එහි වත්කම් හා වගකීම් පැවරීමට එකකුත්, 2019 වසරේ සිට   නවක සිසුන් බඳවා ගැනීම සඳහා තවත් එකකුත් වශයෙන් එකිනෙකට වෙන් වූ වෛද්‍ය ආයතන දෙකක් ඇති කරන බව රජය කියයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති  නිවේදනයට අනුව   සයිටම් ආයතනය අහෝසි වීම සහ නව ආයතන දෙක ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් රජය දෙසැම්බර් 30 වැනි දා සයිටම් ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ අත්සන් කර තිබේ. ඒ අනුව රජයේ මාර්ගෝපදේශනය යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යෝජිත නව ආයතන දෙක ආරම්භ කරනු ඇති බව රජය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු මෙම අවබෝධතා ගිවිසුම නීත්‍යනුකූල ගිවිසුමක් බවට පත් වන බව ද සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම ආයතන දෙකෙන් එක් ආයතනයක් සයිටම් ආයතනයේ හිටපු සියලුම වෛද්‍ය සිසුන් බඳවාගනිමින් සහ සයිටම් ආයතනයේ සියලුම වත්කම් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන බවත්, එය ලාබ නොලබන ආයතනයක් වන අතර සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන බවත්, මෙම ආයතනය සඳහා අලුතින් සිසුන් බඳවා නොගන්නා බවත් රජය කියයි.

සයිටම් ආයතනයේ සියලුම වර්තමාන සිසුන් බඳවාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරන ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අවම ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරනු ඇති බව ද, සයිටම් ආයතනයෙන් උපාධිය ලබා ගත් සිසුන්ට මෙම ප්‍රමිතියට අනුගතවීම සහ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා වෛද්‍ය සභාව විසින් තවත් ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්වේ.

2019 වසරේ සිට සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන නව ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත යුතු අතර එය අවම ප්‍රමිතීන් සපුරාලිය යුතු බවත්, මෙම ආයතන දෙකේම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ලාභ පදනම් කරගෙන නොවන බවත්, 2019න් පසු සිසුන් බඳවා ගැනීමට පිහිටුවන ආයතනය ‘ඇපයෙන් සීමිත සමාගමක්‘ බවත්, සිසුන්ගෙන් ගාස්තු අය කළද අතිරික්ත ආදායමක් තිබේ නම් එය ආයතනයේ සංවර්ධන කටයුතු, පර්යේෂණ කටයුතු සහ ශිෂ්‍යත්ව ලබා දීමට යොදවන බවත් එම නිවේදනයෙන් අවධාරණය කරයි.

සයිටම් ගැටළුව විසඳීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් නව දෙනාම ඊට ඒකමතිකව කැමැත්ත පළ කළ බව ද නිවේදනයේ සඳහන්වේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් සහ කොළඹ සහ කැලණිය වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ.

මෙම විසඳුම ගැන සාකච්ඡා කිරීමට කමිටුව අවස්ථා තුනකදී රැස්වූ බවත්, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංගමය සහ සයිටම් වෛද්‍ය සිසුන්ගේ සංගමය මෙහි නිරීක්ෂකයන් ලෙස සහභාගී වූ බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.