සයිටම් අහෝසි කර නැතැයි ජවිපෙ කියයි


(වීනිතා එම් ගමගේ)

සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක‍්‍රමයක් යොදාගැනීම යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එමගින් ආණ්ඩුව මුළුමහත් රටම රැවටීමට උත්සහ කරන්නේ යැයි ද ජවිපෙ චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ මගින් සයිටම් අහෝසි කළ යුතු යැයි ආණ්ඩුව පිළිගෙන තිබීම සයිටම් විරෝධීන් ලැබූ ජයක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 

මේ සම්බන්ධව ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින්  නිතුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වේ. 

‘‘දැනට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන සයිටම් ආයතනය පිළිබඳ ගැටලූව විසඳීම සඳහා ආණ්ඩුව විසින් තම අවසන් විසඳුම යැයි පවසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය පදනම් කර ගනිමින් ආණ්ඩුව පවසන්නේ සයිටම් ආයතනය වසා දමා ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදුන් බවයි.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ බලධාරීන් ප‍්‍රකාශ කරමින් සිටියේ, කිසිසේත් සයිටම් අහෝසි නොකරන බවයි. දැන් මෙම යෝජනාවලිය මගින් සයිටම් අහෝසි කළ යුතු බව ආණ්ඩුව විසින් පළමු වරට පිළිගනු ලැබ තිබේ. එය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ සියලූ දෙනා ලැබූ ජයග‍්‍රහණයකි.

ආණ්ඩුවේ යෝජනාවලිය අනුව සයිටම් ආයතනයේ නම ද පුද්ගලික හිමිකාරිත්වය වෙනස්වීමට නියමිතය. නමුත් සිසුන්ට වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වෙනස් නොවේ.

පසුගිය කාලයේ ජනතාවගේ, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ, වෛද්‍ය පීඨ දෙමාපියන් හා ආචාර්යවරුන්ගේ මූලික ඉල්ලීම වූයේ, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහා නතර කර සයිටම් ආයතනය අහෝසි කරනු යන්නය. 

නමුත් ආණ්ඩුව ඊයේ (29) දින ප‍්‍රකාශයට පත්කළ විසඳුමෙන් ඉදිරිපත් කරනුයේ සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කර දැමීම නොවේ. ඒ වෙනුවට සයිටම් ආයතනයේ නම පමණක් වෙනස් කොට වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුත්ත නව හිමිකාරිත්වයකට පවරා දීමක් පමණි.

එම වංචනික කටයුත්ත වසන් කිරීම සඳහා සයිටම් ආයතනයේ නම හා හිමිකාරිත්වය වෙනස් කිරීමත් දුප්පත් සිසුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන බව පැවසීමත් කූට ලෙස යොදා ගනී.