සයිටම් අර්බුදය විසඳන්න ජනපතිට අගමැතිට මැදිහත්වන්නැයි ඉල්ලයි


(ඩයනා උදයංගනී)

ත්‍රෛනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීම අනුව සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිත් අගමැතිත් වහා මැදිහත් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රෝඩාකාරී ආයතන රැකගැනීමේ අරමුණින් බැහැරව හා රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන්ගේ බලපෑම්වලට නතු නොවී මෙම විසඳුම ලබාදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 8 දෙනා ඒකමතිකව ඉදිරිපත් කර ඇති යෝජනා පදනම් කරගෙන සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මහ නා හිමිවරුන් අවධාරණය කර ඇතැයි කී ලේකම්වරයා සයිටම් ආයතනයට තව දුරටත් සිසුන් බඳවාගැනීම ස්ථිර වශයෙන් අහෝසි කිරීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බවත්, ඒ හරහා සමස්ථ අර්බුදය විසඳීමට සාධනීය ප‍්‍රවේශයක් ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.