සඳුදාය. වේලාව උදේ 9.30 පසුවුණා පමණි. කහ පැහැ ත්‍රී රෝද රථයක් නෙළුම් පොකුණ හා අයිඕසී තෙල් හල අසළ වටරවුම පැත්තේ සිට කොළඹ මහ නගර සභා පාරට හීයක වේගයෙන් පිවිසියේය. නොම්මරය ලංකාදීප කාර්යාලයේත් කොම්පඤ්ඤවීදිය පොලිසියේත් ඇත. ඉදිරියෙන් ධාවනයවූ යතුරු පැදියක හැපී යතුරුපැදිකරු පාර මැද වැටී කරණමක්ද ගසාගෙන වැටුණේය.
වාසනාවකට මෙන් වෙනත් වාහනයක් පාරේ නොවීය. අනතුරින් පසු සුදු උඩු රැවුලක් ඇති වයසක ත්‍රී රෝද රියදුරා කොම්පඤ්ඤවීදිය පැත්තට ගමන් කළේය. ඔහු ලුහුබැඳ ගිය වෑන් රියදුරකු ස්ථාන දෙකකදී ත්‍රී රෝද රිය නවත්වා පොලිසියට දන්වන බව කීවත් එය ගණන් ගත්තේ නැත. අනතුරවූ ස්ථානයට ගියේද නැත.
ඔහු පැවසුවේ තම රියේ කුලී ගමනක් යන මහත්තයා ඉක්මනට යායුතු බව කී හෙයින් නොනවත්වා පැමිණි බවයි. ඒ මහත්තයා ත්‍රී රෝද රියදුරාට රුපියල් 300ක් දී බැස ගිය පසු වෑන් රියදුරෙක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම නොම්මරය දුන්නේය. පොලිසිය ඔහුට ස්තූති කළේය. එවෙලේම කුරුඳුවත්ත පොලිසියට ඒ බව දැන්වීය.

