සමෘද්ධි සමීක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්



 
බිඟුන් මේනක ගමගේ

                                           
සමෘද්ධිලාභී ලැයිස්තු යාවත්කාලීන කිරීමේ අරමුණෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය මගින් 2017 වසරේ ආරම්භ කළ සමීක්ෂණය අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් නාස්ති වී ඇතැයි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


සහනාධාර ලැබෙන සීමාවෙන් ඉහළ ජීවන මට්ටමට අවතීර්ණ වූවන් හඳුනාගැනීම ඉලක්ක කරගත් ප්‍රශ්නාවලියක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූ මෙම සමීක්ෂණයට නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ කරගත්තේ යැයි ද එනිසා ඊට විශාල පිරිවැයක් හා කාලයක් වැය වී යැයි ද හෙතෙම අවධාරණය කළේය.


එහෙත්  එම ක්‍රියාවලිය  විවිධ දේශපාලන සටන් පාඨ පදනම් කරගෙන අතර මග නතර කළේ යැයි ද එමගින් සිදුවූ මූල්‍ය නාස්තිය ගණන් බැලුවොත් රුපියල් කෝටි ගණනක් වනු ඇතැයිද එම නිලධාරියා කීවේය.


මේ සම්බන්ධයෙන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයෙන් විමසීමේදී එහි නිලධාරියකු පැවැසුවේ එසේ ලබාගත් දත්ත වෙනත් වැඩවලට යොදාගන්නා බවයි.


ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මල්ටි ඩයමෙන්ෂනල් සර්වේ ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කළ මෙම සමීක්ෂණය අයදුම්පත් පිරවීමේදී හා පරිගණකයට තොරතුරු ඇතුළත් කිරීමේදී තොරතුරු වැරදි සහගතව සඳහන්ව ඇති නිසා අවලංගු කළේ යැයි විෂය බාර හිටපු ඇමැති එස්.බී දිසානායක මහතා එකල මාධ්‍යයට පැවැසීය .