තරිඳු ජයවර්ධන
සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දී මෙම ණය මුදල යෝජනා කර ඇති අතර සමෘද්ධි ලාභීන් ලක්ෂ 11ක් පමණ ණය මුදල ලබාගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.
වාරික 10ක් යටතේ මෙම ණය මුදල අය කර ගැනීමට නියමිතව තිබිණි.
පිරිසකගෙන් මේ වන විටත් එහි වාරික කිහිපයක් ලබා ගෙන තිබුණු අතර ණය මුදල් යළි ගෙවන ලෙස දන්වමින් සෙසු පිරිසට ලිපි යැවීමට පසුගිය දින කිහිපයේ සූදානම් කර තිබුණු බවත්, එම ණය මුදල අය කිරීම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද , ඒ අනුව ලිපි යැවීම නතර කළ බව ද සුනිල් ජයන්ත නවරත්න මහතා කීවේය.
මෙය ස්ථිරවම නතර කරනවාද තාවකාලිකව නතර කරනවාද යන්න දැන්ම කිව නොහැකි බවත්, ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන බවත් ආචාර්ය නවරත්න මහතා සඳහන් කළේය.

