(නිමල කොඩිතුවක්කු)
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කර ගන්නේ නම් එයට මත්තෙන් සිදුකළ යුතු ප‍්‍රමුඛතා ලැයිස්තුවක් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
රුපියල් මිලියන හැට දහසකට ආසන්න වත්කමක් සහිත සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කර ගැනීමට පෙර එහි සේවක අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමකලූගේ මහතා අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.
විශ‍්‍රාම වැටුප් අහිමිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 23,206 කට ආසන්න සියලූ සේවකයින් හට සිය අධිකාරිවල පත්වීම් දිනයේ සිට පත්වීම් ලබාදි සේවකයන් සතු සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සියලූ මුදල් සහ පාරිතෝෂික මුදල් නිදහස් කර පවතින ගැටලූ නිරාකරණය කිරිම ඇතුළු ඉල්ලීම් ඒ අතර වේ.
සමෘද්ධි බැංකු 1074 තුළ තාවකාලික පදනම බදවාගෙන ඇති පරිගණක සහයකයින් ස්ථිර කිරිම, 2014 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉසුරුමත් නිවහනක් වැඩසටහන යටතේ සමෘද්ධි බැංකු මගින් සමෘද්ධිලාභී ජනතාවට ලබාදුන් රුපියල් 2500 නිවාස ආධාර මුදල් නැවත සමෘද්ධිලාභීන් වෙත නිදහස් කිරීම, සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ පැවති සමෘද්ධි ලාභීන් හට ගෙවීම් අත්හිටුවා ඇති මරණ වෙනුවෙන් අදාළ ප‍්‍රතිලාභ ගෙවීම එම ඉල්ලීම් අතර වේ.
1995 ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනතට අනුව ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපාරය එදා සිට අද දක්වාම දේශපාලනීකරණයට ලක්ව ඇති බවත් එදා සිට පාලන බලය හෙබවූ සෑම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.