සමුගන්න අවසරයි


ප‍්‍රවීණ සංගීතවේදි/ආචාර්ය වික්ටර්  රත්නායක


සමාප්තිය 18 - 19 - 20


ඔහු ශ්‍රී ලාංකීය සුභාවිත සංගීතය ඉහළ තැනකට ගෙන ඒමට වසර 39ක් පුරා ගම් නියම්ගම් කරා තම ඒකපුද්ගල ගී ප‍්‍රසංගය රැගෙන ගියේ රසිකයන්ගේ රසවින්දනය උසස් කරමිනි. ලාංකීය ඒකපුද්ගල ගී ප‍්‍රසංග කලාවේ ආරම්භකයා වූ ඔහු, තම ඒකපුද්ගල ගී ප‍්‍රසංගයට එදා තිබූ රසික ඉල්ලූම වසර 39ක් පුරා අද දක්වා රැුගෙන ඒමට තරම් සමත්වීමම විශේෂත්වයකි. එහි උච්ච ස්ථානයකට පත්ව ඇති මොහොතක, එය නවතා දැමීමට ඔහු තීරණය කර තිබේ. ඔහු නමින් ප‍්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකය. ප‍්‍රසංගය ”ස” ය. ”ස” ප‍්‍රසංගයේ සමාප්තිය මෙම මස 18 වැනි දින නෙළුම් පොකුණේදීත්, 19 වැනි දින මහරගම තරුණ සේවා රඟහලේදීත් 20 වැනි දින ලූම්බිණියෙදීත් පැවැත්වේ. 1973 ජූලි මස 20 වැනි දින ලූම්බිණියෙන් ඇරඹුණු ”ස” 2012 ජූලි මස 20 ලූම්බිණියෙන් අවසන් කෙරේ. ”ස” සමාප්තිය හා එයින් පසු ඔහුගේ ගමන පිළිබඳව වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන් සමග කළ කතාබහක සටහනකි මේ. ඔබේ ”ස” ඒක පුද්ගල ගී ප‍්‍රසංගය මෙතරම් ආන්දෝලනයට ලක්වුණේ කොහොමද? මොකක්ද මෙහි ඇති විශේෂත්වය? මූලිකව ඒ තත්ත්වයට පත්වෙන්න හේතුවක් වෙන්නැති මෙය තනි අකුරක් වීම. එතැන සුවිශේෂමය සිද්ධාන්තමය සත්‍යයක් තිබෙනවා. ප‍්‍රසංගයකට හෝ චිත‍්‍රපටයකට හෝ නාට්‍යයකට හෝ පොතකට හෝ තනි අකුරක නමක් පැමිණි විට තරමක් විස්මය උපදන ගතියක් දැනෙනවා. මිනිසුන්ට කුතුහලයක් එයින් ඇතිවෙනවා. සංගීතය ගැන දන්න අය සප්ත ස්වරයේ මුල් අකුර ලෙස මෙය දන්නවා. ඇතැම් අය අදටත් මෙය වැරැදියට උච්චාරණය කරනවා. විවෘත ”ස” සද්ජය ලෙස කියන්නේ නෑ. මගේ ගැයෙන ගීත සංඛ්‍යාවේ අන්තර්ගතය දිහා බැලූවිට, මා හිතනවා එහි දේශානුරාගය, මවුගුණ, පේ‍්‍රමය, ළමා කාලය වැනි එක එක ප‍්‍රස්තුතත් මෙයට බලපාන්න ඇති කියා. විවිධත්වය උඩ එක්වරක් නරඹපු කෙනෙක් තව වරක් නැරඹීමට පෙළැඹවීමක් ඇතිකරනවා කියලා. මේ දවස්වල කරන ප‍්‍රසංගවලදී අපට හුඟාක් හොඳට එය දැනෙනවා. මට නුවරඑළියේ ප‍්‍රසංගයේදී 50 වාරයක් ”ස” ප‍්‍රසංගය නැරඹූ අයෙක් හමුවුණා. අදත් එදා වගේම ඒ වින්දනය ලබන්න පුළුවන් බව තමයි ඔහු පැවසුවේ. ඒක ශිල්පියකුට ලෙහෙසියෙන් ලබන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි. තනි අකුරකින් ප‍්‍රසංගය නම් කිරීම හා ප‍්‍රසංගයේ අන්තර්ගතයේ තිබෙන විවිධ වූ මාතෘකා ගැන සාකච්ඡා කරන ගීත අඩංගුවීම තමයි ”ස” මෙතරම් ආන්දෝලනයට ලක්වුණේ කියා මා හිතනවා.   ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය තුළ ”ස” ප‍්‍රසංගය එක් මුද්‍රාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ මුද්‍රාව තැබීම පිළිබඳව එහි නිර්මාතෘවරයා ලෙස ඔබ දකින්නේ කොයි ආකාරයටද? ඇත්තෙන්ම මෙය ඉදිරියට විමර්ශනය කරන, මේ ගැන නිරීක්ෂණය කරන පරීක්ෂණ පවත්වන ඉදිරි අනාගත පරපුර මා හිතන්නේ මට වඩා දෙයක් කියාවි කියලයි. මොකද මේක තමයි ඒකපුද්ගල ප‍්‍රසංග කලාවේ පළමුවැනි නිර්මාණය. වික්ටර් රත්නායක ”ස” ප‍්‍රසංගය ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසයට එකතුවන්නේ, ලංකාවේ පවත්වපු පළමුවැනි ඒකපුද්ගල ගී ප‍්‍රසංගය හැටියටයි. එතකොට මේක පිළිබඳව පසු පරපුර මෙය හැදෑරීමක් කරලා, අධ්‍යයනයක් කරලා මේ ගැන බොහෝ දේවල් විමර්ශනාත්මකව විග‍්‍රහ කරන්න පුළුවන්. මා දකින්නේ එකම පුද්ගලයෙක් දිහා පැය 2ක් එක දිගට බලාගෙන ඉන්නවා කියන එක කොහොමද ඒ ගොල්ලෝ විඳ දරා ගන්නේ කියලා. ඒ ප‍්‍රතිචාරයෙන් මට පේන්නේ මගේ ගායනයේ තිබෙන භාවමය ස්වරුපයමයි කියලා මට හිතෙනවා. මොකද මට ලොකු ලස්සන පෙනුමක් නැහැනේ. ”දෙව්රම් වෙහෙරේ” බොදු ගීතය ගයන විට මා කිසියම් ආංගික අභිනය නළුවකුගේ වගේ නොවුණත්, ඒ හඬට උචිත, ඒ ගායනයට භාවමය ස්වරූපයට මගේ මුහුණේ කිසියම් හැඟීමක් ජනිත කරනවා කියා මට දැනෙනවා. මට අවශ්‍ය භාවමය ලෝකයකට ශ‍්‍රාවකයා ඇද බැඳ ගැනීමයි. එහෙම කරන්න පුළුවන් ලංකාවේ ශිල්පීන් ගොඩාක් නෑ. මට හිතෙනවා, මම ඒ කාර්යභාරය හොඳින් ඉටුකරනවා කියා.   එසේ මුද්‍රා තැබූ ”ස” ප‍්‍රසංගය අද උච්ච ස්ථානයකට ඇවිත් තිබෙනවා. ඒ අවස්ථාවේදි ඔබ මෙය නතර කරන්න තීරණය කර තිබෙනවා. ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර තිබෙද්දී ”ස” අවසන් කිරීම ගැන ඔබට ආපසු හැරී බැලීමේදී මොකද හිතෙන්නේ? ඒකනම් මම හිතා මතා කළ වැඩක්. බොහෝ දෙනෙක් මගෙන් අහන්නේ මෙතරම් ඉල්ලූමක් තිබෙද්දී, මෙතරම් ඉහළ තැනකට ඇවිත් තිබෙන ”ස” ප‍්‍රසංගය. ඇයි මේ නවත්වන්නේ කියලා. ඇත්තෙන්ම මේ ප‍්‍රසංගය ආරම්භ කරලා දැන් වසර 39ක්. වසර 39ක් පුරාවට මෙය කරගෙන ඇවිල්ලත්, මෙතරම් ඉල්ලූමක් තිබෙනවා කියන එක විශාල අරුමකාරී තත්ත්වයක්. මේ විශ්මයාර්ථය දනවන තත්ත්වය, මට හිතෙනවා ප‍්‍රසංගයේ ගෞරවය රැකගන්නටත්, ශිල්පීය ගෞරවය වික්ටර් රත්නායක රැකගන්නටත් දෙකටම ඉල්ලූමක් තිබෙන්නේ මෙහෙම තිබෙද්දී නතර කළොත් විතරයි කියලයි. මොකද නැත්නම් බුදු දහම අනුව සියලූ සංස්කාර ධර්මයෝ අනිත්‍යයිනේ. එතකොට මට දැන් වයස අවුරුදු 71ක්. මට දිව පැටලෙන්න පුළුවන්. දත් අස්සෙන් වචන පනින්නට පුළුවන්. ගොත ගැහෙන්න පුළුවන්. හරි ශ‍්‍රැතියකට ගායනය කරන්න බැරිවෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ තත්ත්වයට ඇවිත් මිනිසුන්ගේ අනුකම්පාව ලබාගත යුතු නෑ. අනුකම්පාව නොවෙයි ශිල්පියෙක් ලබාගත යුත්තේ ගෞරවය හා නම්බුව ආරක්ෂා කර ගැනීම. ඒ හින්දා තමයි මෙවැනි තීරණයක් ගත්තේ. බොහෝ දෙනා කියනවා, මම දැඩි මතධාරියා කියලා. ”ඔයාට තනියෙන් නතර කරන්න අයිතියක් නෑ. ශිල්පියා හා නිර්මාණ දැන් අප සතුයි කියන අයත් ඉන්නවා. නමුත් මගේ ගෞරවයත්, ප‍්‍රසංගයේ ගෞරවයත් දෙකම රැකෙන්නේ මේ අවස්ථාවේ නැවැත්වුවොත් පමණයි. එහෙම නැත්නම් බෑ කියන වචනය කවදාහරි මිනිසුන්ගෙන් අහගන්න මට සිදුවෙයි. දැන් මට ගයන්න පුළුවන්. පුළුවන් අවස්ථාවේ නවත්වනවා. බොහෝ දෙනෙක් වැරැුදි මතයකට ඇවිත් තිබෙනවා, මම ගීත ගැයීමෙන් අයින්වෙනවා කියලා. ඒක වැරැුදි මතයක්. ඒක පුද්ගල ගී ප‍්‍රසංගයේ තිබෙන බරසර බව සහ එහි ගාම්භීරබව දරාගෙන ඉන්න තරම් වයසක නොවෙයි මම දැන් ඉන්නේ. ඒක තේරුම් ගන්න  ඕනේ. ඒ තේරුම් ගැනීම මත හිඳගෙන තමයි මේ විදිහේ තීරණයක් ගත්තේ.   ”ස” ප‍්‍රසංගයට එදා වගේම අදටත් රසික ඉල්ලූම තිබෙනවා. ශාලාවන් පිරී ඉතිරී යනවා. ඔබ මේ තුළ එදා හා අද රසික වින්දනය දකින්නේ කොයි ආකාරයටද? ඇත්තෙන්ම බොහෝදුරට අද රසිකයෝ ඇවිත් කියන්නේ මේ ප‍්‍රසංගය මුලින් අප නරඹනවිට පාසල් ශිෂ්‍යයෝ, ශිෂ්‍යාවෝ කියලයි. ඒ බැලූවේ අම්මලාගේ අතේ එල්ලිලා ඇවිත්. අද ඒ අය, ඒ ගොල්ලන්ගේ දරුවන් අරගෙන ”ස” නරඹන්න එනවා. ඒ අය දක්වන ප‍්‍රතිචාර, මට දක්වන ප‍්‍රණාම, ඒවා දකිනකොට මට හිතෙන්නේ අපි කොතරම් දුරකට මෙය ගෙනිහින්ද කියලයි. පරපුර තුනකට ”ස” ප‍්‍රසංගය දැනට ගිහින් තිබෙනවා. අවුරුදු 39ක් කියන්නේ පොඩි කාලයක් නොවෙයිනේ. ඇත්තෙන්ම හරිම සතුටක්. ඒ අයගේ දරුවන්වත් සතුටු කරන්න අපි මේ වයෝවෘද්ධ වයසේ හිඳගෙන කරන්න අමාරුයි. එහෙම කරන්න ගියොත් ඒ දරුවන්ට අපිව එපාවෙයි කියලා බයක්, තැති ගැන්මක් මට තිබෙනවා. දැන් DVD.VCD තැටි තිබෙනවානේ. රූපකාය පවා බලලා, ගායනය ශ‍්‍රව්‍යමය දෘශ්‍යමය දෙකෙන්ම දැකලා මම හිතනවා, ඒ ළමයි වුණත් ඒ රසවින්දනය සදාතනිකව තබාගෙන ඉන්නවා කියලා. ඒ හින්දම තමයි මේ හොඳම අවස්ථාවේ මෙය නතර කරන්න තීරණය කළේ.   ඔබ නිතරම අපේ සුභාවිත ගීත කලාව උසස් තැනකට ගෙන ඒමටත්, ශ‍්‍රාවකයා උසස් රසවින්දනයකට ගෙන ඒමටත් ගීතය තුළින් යහපත් සමාජ මෙහෙවරක් කරන සංගීතවේදියෙක්. නමුත් අද අපේ පවතින ගීත කලාව ගැන සතුටුවෙන්න බැහැ නේද? ඒ තරමට පිරිහිලා නේද? ගීතය විතරක් නොවෙයි අද සියලූ දේ පිරිහිලා ඉවරයි. ඉතිං කොහොමද ගීතය විතරක් ඉතුරු වෙන්නේ? අද හැම කලා මාධ්‍යයකම දක්නට ඇත්තේ අවපාත තත්ත්වයක්. සංගීතය කියන විෂයයේ මේ අවගමනයට, පහත වැටීමට බොහෝ සේ බලපා තිබෙන්නේ අපේ මේ කුඩා දිවයිනට ඔරොත්තු නොදෙන තරම් ත්‍ඵ හා රූපවාහිනී නාලිිකා බිහිවීම කියලයි මා හිතන්නේ. මොකද ඔවුන්ගේ එකිනෙකා පරයා ප‍්‍රසිද්ධ වීමට කරන බොහෝ නිර්මාණ දිහා බලනවිට, ඒවායේ නිර්මාණීය ගුණයක් නෑ. ඒත් නිර්මාණ කියලා කරනවා. නමුත් ඒවා හරිම නිස්සාරයි. හරසුන්. දැන් ටෙලිනාට්‍යයක් පවා බලන්න දෙයක් තිබෙනවාද? හරිනම් තාක්ෂණයේ දියුණුවත් එක්කම. අනෙක් සෑම දෙයම දියුණුව කරා යන්න  ඕනෑනේ. නමුත් එහෙම දෙයක් නොවෙයි වෙන්නේ. මේකේ පරිහානියක් අපි දකින්නේ. අලූත් ගීත කලාව දෙස බැලූ විට ඒවායේ අපේකමක් නෑ. සිංහලකමක්, බෞද්ධකමක් නෑ. ඒවාට පරිගණකය භාවිත කරමින් කළත්, ඒවා සංගීත නිර්මාණ නොවෙයි. ඒවා ඝෝෂාකාරී ශබ්ද විතරයි.
සංවාද සටහන - සමන්ත යහම්පත්