සම්මේලන කුසලාන කැරම් තරගාවලියට ක‍්‍රීඩිකාවන්ගේ වාර්තාගත සහභාගීත්වයක්


‘සම්මේලන කුසලාන’ ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියට වාර්තාගත ක‍්‍රීඩකාවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය ‘ලංකාදීපයට’ පැවසුවාය. කැරම් සම්මේලනය 24 වැනි වරටත් මෙහෙයවන මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට ක‍්‍රීඩිකාවෝ 115 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මතායස් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ තරගාවලියකට ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් ලැබුණ වැඩිම අවස්ථාව මෙය බවයි. තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වට ජාතික සංචිතයේ ක‍්‍රීඩකයන් 16 දෙනා හැරෙන්නට ක‍්‍රීඩකයෝ 198 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තරගාවලිය පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වලින් හා ප‍්‍රවීණයන්ගේ ඉසව්වකින් සමන්විතවේ. සෙසු ඉසව් සඳහා ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. කොළඹ රීඞ් මාවතේ තුරඟ තරග පිටිය අසළ ගොඩනැගිල්ල නවීකරණය කිරීම නිසා එහි පවත්වාගෙන ගිය කැරම් සංගම් මූලස්ථානය එම ස්ථානයේ ඉවත් කර ගැනීමට නිලධාරීන්ට මේ වන විට සිදුව තිබේ.  ඒ හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා කැරම් සම්මේලනය විසින් තරගාවලියක් සංවිධානය කරනු ලබන්නේ මාස පහකට පසුවය. මහරගම ප‍්‍රදේශයේ ස්ථානයක් තරගාවලිය පැවැත්වීමට සුදානම් කර තිබෙන අතර තරගාවලිය ජනවාරී මස 7 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පහසුව සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනත් ඇතුළුව දින අටක් පුරා මෙම තරගාවලිය පැවැත්වේ. පසුගිය වසරේ පිරිමි ශූරතාව ජාතික ශූර චමිල් කුරේද, කාන්තා ශූරතාව මධුෂිකා කාංචනමාලා ද දිනා ගැනීමට සමත්වුහ.